Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික යොවුන් ක්‍රීඩා උළෙල දින පහක්

ජාතික යොවුන් ක්‍රීඩා උළෙල දින පහක්

නාමල් පතිරගේ - 2020 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


මෙම වසරට නියමිත 32 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට ජාතික තරුණ සේවා සභාව සූදානම් වේ. එහිදී විශේෂත්වය වන්නේ විශේෂාංග රැසක් එක්කරමින් එය දින පහක් දක්වා පැවැත්වීමට තරග සංවිධායකයන් උනන්දු වී  සිටීමය.

තෙෂාර ජයසිංහ මහතා

ජාතික තරුණ සේවා සභාවේ සභාපති තෙෂාර ජයසිංහ මහතා මහරගම තරුණ සේවා ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ ඒ සඳහා තරග වදින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදෙන ත්‍යාග මුදල් හා සහභාගීත්වයේදී ලබාදෙන  පහසුකම්ද ඉහළ දැමීමට සැලසුම් සකස් කරන බවයි.

මාධ්‍ය හමුවේදී තෙෂාර ජයසිංහ මහතා  මෙසේද පැවසීය.‘‘ ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පාසල්වල නතර කරන එක මම අනුමත කරන්නේ නෑ. ඒ  වගේම ඔවුන් දින තුනකට ක්‍රීඩා උළෙල සඳහා එකතැනකට ගෙනැල්ලා ගාල් කරලා ගෙදර යවන එක අනුමත කරන්නත් බෑ.

ක්‍රීඩා උළෙලට සහභාගි වන දින ගණන පහකට ගෙනැල්ලා ඒ අතර දින දෙකක් ඔවුන් වෙනුවෙන් විශේෂාංගවලට වෙන් කරන දින බවට පත් කළ යුතුයි.’’

මෙම වසරට  නියමිත 32 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උ​ෙළලේ  ප්‍රාදේශීය මූලික වටයේ තරග මේ වනවිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වුවත් ‘කොරෝනා’ වසංගත තත්ත්වයෙන් පසුව රට තුළ උද්ගත වූ වෙනස්කම් සැලකිල්ලට ගනිමින් එහි අවසන් අදියර ලෙස පැවැත්වෙන ක්‍රීඩා උළෙල ලබන මාර්තු මාසය දක්වා කල් දැමීමට තරුණ සේවා සභාව පියවර ගෙන තිබේ.

තෙෂාර ජයසිංහ මහතා  පැවසුවේ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් කොළඹ සුගතදාස පිටියේදී හෝ දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී පැවැත්වීම වඩාත්ම සුදුසු බවයි.

‘‘මම කියන්නේ එය එසේ විය යුතුයි. යොවුන් ක්‍රීඩා  උළෙල රටේ දෙවැනි විශාලතම ක්‍රීඩා උළෙලයි. මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තණකොළ පිට්ටනිවල දුවන එක මම අනුමත කරන්නේ නෑ. ගමෙන් නගරයෙන් එන මේ ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කෘත්‍රිම ධාවන පථයක පළපුරුද්ද අප ලබාදිය යුතුයි.’’

කෙසේ වුවත් මෙම වසරට නියමිත ජාතික යොවුන් ක්‍රීඩා උළෙල ලබන වසරට කල් දමනු ලැබුවත් වසර 2021 ට නියමිත 33 වැනි යොවුන් ක්‍රීඩා උළෙලත් එම වසරේදී පවත්වා  අවසන් කරන බව තරුණ සේවා සභාවේ සභාපතිවරයා පවසයි.

යොවුන් ක්‍රීඩා උළෙල මෙම වසරේදී   වෙනස්කම් රැසකින් සමන්විතව පැවැත්වීමේදී ඒ සඳහා ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ පූර්ණ සහයෝගය ප්‍රකාශ වී තිබේ. ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන යෞවන සමාජවලට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපරිම පහසුකම්  ලබාදීමට අමතරව ත්‍යාග මුදල් හා නිලධාරීන්ගේ ගෙවීම්ද වැඩිකරන ලෙස එහිදී තරුණ කටයුතු  ඇමැතිවරයා ලෙස ඔහු ජාතික තරුණ සේවා  සභාවට උපදෙස් දී තිබේ.

යොවුන් ක්‍රීඩා උළෙල සඳහා දිවයිනේ දිස්ත්‍රික් හා කලාප  25කට අයත් යෞවන සමාජ 12000කට වැඩි ගණනක සාමාජිකත්වය හොබවන තරණ තරුණියෝ සහභාගි වෙති.

මේවන විට තරුණ සේවා සභාව වොලිබෝල්, කබඩි, දැල්පන්දු, පාපන්දු හා රග්බි (කාන්තා- පිරිමි) පුහුණු සංචිත අලුතින් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

 


අදහස් (0)

ජාතික යොවුන් ක්‍රීඩා උළෙල දින පහක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.