Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිංහයෙකුගේ ධෛර්යය -එල්.පී.එල්. ලාංඡනයට

සිංහයෙකුගේ ධෛර්යය -එල්.පී.එල්. ලාංඡනයට

රොෂාන් ගුණරත්න - 2020 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලංකා ප්‍රීිමියර් ලීග් (එල්.පී.එල්) විස්සයි20 තරගාවලියේ නිල ලාංඡනය නිකුත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විග්‍රහය අනුව, ශ්‍රී ලංකා ජාතික ධජයේ ප්‍රධාන සංකේතය ලෙස පෙනෙන සිංහයෙකුගේ ධෛර්යය, අධිෂ්ඨානය සහ නිර්භීතකම ලංකා ප්‍රිමියර් ලීග්හී නිල ලාංඡනයේ ප්‍රධාන තේමාව වී තිබේ.

එල්.පී.එල් ලාංඡනය මගින් ජාතියේ පොහොසත් සංස්කෘතිය හා උරුමය, ජනතාවගේ නිදහසේ ගලා යන ස්වභාවය සහ ශ්‍රී ලාංකා ක්‍රීඩකයින් පිටියේ සිටින විට ඔවුන් පෙන්වන නිර්භීත ක්‍රීඩා විලාසයද විදහා පෙන්වයි.

ලාංඡනය තුළ රතු සහ තැඹිලි වර්ණ භාවිතා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහනුවර යුගයේ සිතුවම් සහ සිගිරිය චිත්‍ර කලාවේ ආභාෂය පෙන්වීමටය. නිල් සහ කහ වර්ණ භාවිතා කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ණ නිරූපණය කිරීමටය.

තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් පහ සිංහයාගේ කේශරය සඳහා යොදා තිබෙන වර්ණ වලින් පිළිබිඹු වෙයි. එම වර්ණ 5 ට අමතරව යොදා ඇති පින්සල් පහරවලින් යෙදෙන වර්ණ වලින් තරගාවලියේ හැඟීම උද්දීපනය කිරීම මෙන්ම තරගාවලියේ වේගය නිරූපණය කරනු ඇත. තවද සියලු දෙනාගේම ආදරය දිනා ගත් ක්‍රීඩාව බවට පත්ව තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දක්වනු ලබන නොනවතින ආශාව සහ උනන්දුවද මෙම කේශර වර්ණ වලින් පිළිබිඹු වනු ඇත.

මෙම වර්ණ සියල්ල භාවිතයේ ප්‍රධාන පරමාර්ථය බවට පත්ව ඇත්තේ ශ්‍රී ලාංකීය සන්නාමයක් ලෙසින් දේශීය මෙන්ම විදේශීය ක්‍රීඩා ලෝලීන්ට සමානව ආකර්ශනය වන ආකාරයෙන් තරගාවලිය පැවැත්වීම බව තරගාවලියේ පාලන කටයුතු බාර ඉනොවේටිව් ප්‍රඩක්ෂන් ගෲප් (අයි.පී.ජී.) ආයතනය පවසයි.

“එල්.පී.එල් ලාංඡනය මගින් ශ්‍රී ලංකාවට, එහි ජනතාවට, සංස්කෘතියට සහ ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී වූ දේ නිරූපණය කරන අතර එය මේ රටේ සෑම දෙනාගේම හදවතේ වැදගත් ස්ථානයක් ගන්නවා. ඒ අතරම, එයට ගෝලීය පිලිගැනීමක්ද ඇති අතර එමඟින් අපගේ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින්ට එල්.පී.එල් සමඟ පහසුවෙන් සම්බන්ධ වීමට හැකිවෙනවා. එය සැබවින්ම ජාතියේ ආත්මය ග්‍රහණය කර ගෙන ඇත, අපට මීට වඩා හොඳ කිසිවක් ඉල්ලා සිටිය නොහැකියි” යැයි එල්.පී.එල් ලාංඡනය ගැන අදහස් දක්වමින් අයි.පී.ජී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා පැවසීය.

“එල්.පී.එල් ලාංඡනය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංකේතය සහිත ජාතික වර්ණවල විස්මිත සංයෝජනය දැකීම ගැන මම අතිශයින් සතුටු වෙනවා. මෙම ලාංඡනය රසිකයින්ට තරගාවලිය සමඟ පහසුවෙන් සම්බන්ධ වීමට උපකාරී වන බව මට විශ්වාසයි. ඔවුන් ඔවුන්ගේ ජාතික කණ්ඩායමට මෙන්ම මෙම තරගාවලියටද සහයෝගය දැක්වීමට ඉදිරිපත් වෙනවා නොඅනුමානයි” යයි එල්.පී.එල්. තරගාවලියේ අධ්‍යක්‍ෂවරය වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවින් වික්‍රමරත්න මහතා පැවසුවේය.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 13 දක්වා මහනුවර පල්ලේකැලේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ දෙක තුලදී පැවැත්වීමට නියමිතව ඇත.

ක්‍රීඩක වෙන්දේසිය හෙට (19 වැනිදා) අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට නියමිත අතර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන නගර වලින් නම් කරන ලද කණ්ඩායම් පහක් තරග කරනු ඇත. දින 15 ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 23 ක් ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් සමගින් විදේශීය ක්‍රීඩකයින් 75 දෙනෙකු හෙට පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී සලකා බැලේ. එක් කණ්ඩායමකට විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකු බැගින් ක්‍රීඩකයින් 30 දෙනෙකු කණ්ඩායම් 5 සඳහා තෝරා ගැනීමට නියමිතව ඇත. විදේශීය ක්‍රීඩකයින් 6 දෙනා සමගින් කණ්ඩායමකට ක්‍රීඩකයින් 19 දෙනෙකු ඇතුළත් වේ.


අදහස් (0)

සිංහයෙකුගේ ධෛර්යය -එල්.පී.එල්. ලාංඡනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.