Last Update  :  2019-12-12 11:35:00 About Contact
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානු සංචාරයක නොදුටු පැත්ත

පාකිස්තානු සංචාරයක නොදුටු පැත්ත

editorial - 2019 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


පාකිස්තානයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගි වීමට ඔබ යනවාද ?
අන්තර්ජාතික තලයේ සිටින ක්‍රීඩකයකු වශයෙන් මෙය මුහුණ දීමට පහසු ප්‍රශ්නයක් නොවේ.

ඇතැම් අවස්ථාවලදී ක්‍රීඩකයන්ට අසීරු තීරණ ගන්නට සිදුවෙයි. එය බොහෝ විට තමන්ගේ රටට සහ ජාතික කණ්ඩායමට ඇති ලැදියාවත්, ආරක්‍ෂාව සම්බන්ධයෙන් තමන්ගේ පෞද්ගලික සිතිවිලි සහ හැඟීම් සමුදායත් තරාදියක දෙපැත්තට දමා කිරා බලන්නට සිදුවන තත්ත්වයකි.

උදාහරණයක් ගනිමු....
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවරදී පසුගිය වසරේ අග භාගයේදී සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් පසුව, මුස්ලිම් ක්‍රීඩකයන් කිසිවකු නවසීලන්තයේ සංචාරය කිරීමට නිර්භයව ඉදිරිපත් වේද? ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු සෑම රටක්ම පාහේ මෑතකදී කුමන ආකාරයෛ් හෝ ත්‍රස්තවාදී ප්‍රහාර වලට ලක්ව තිබේ.

අපි පාකිස්තානය ගෙන බලමු.
වසර ගණනාවකට ඉහතදී, පාකිස්තානයේ සංචාරය කිරීම මම මහත් ආශාවෙන් සිටියෙමි. පාකිස්තානුවෝ ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවටත්, ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් මහත් සේ ආදරය කළෝය. ඔවුන් ඔබ ඉතා ආදරයෙන් පිළිගන්නා අතර ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔවුන්ගේ ඇති භක්ත්‍යාදරය ප්‍රශ්න කළ නොහැකිය.

80 ගණන් වලදී අපි කෙළින්ම ලාහෝරයට පියාසර කළෙමු. පුහුණුවීම් සහ තරග වලට සහභාගි වීම මෙන්ම නගරයේ සුන්දර තැන් බලන්නට යාමත් සාමාන්‍ය දෙයක් විය. ආරක්‍ෂක භටයෝ කිසිවෙක් නොසිටි තරමය. නගරයේ වෙළෙඳ පොලට යාමත්, පාකිස්තානු සංස්කෘතිය හා මිශ්‍ර වෙමින් ඔවුනොවුන් හා අදහස් හුවමාරු කරගැනීමත් මහත් විනෝදයක් විය.

ඒත් අද තත්ත්වය භයංකාරය. අන්තර්ජාතික ගුවන් තොටුපොළ වලදී ගුවන් යානයෙන් ඇදගන්නා ක්‍රීඩකයන් වහ වහාම වෙඩි නොවදින සහ බෝම්බ නොවදින බස්රථ වලට  ඔබාගනු ලබයි. ඒවාට ඇති ආරක්‍ෂක උපක්‍රම දුටුවිට හිස කරකැවිල්ල ඇතිවන තරම්ය.

එක දිගට පැවැත්වෙන එක්ස්-කිරණ පරීක්‍ෂණ (ගුවන් තොටුපොලවලදී) සහ ගුවන් තොටුපොළ වලදී මෙන්ම නවාතැන් ගන්නා හෝටල් වලදීත්, ආරක්‍ෂක මුර කපොළු හරහා යාම ක්‍රීඩකයන්ට එපා වී තිබේ. මේවා කිසියම් සංචාරයකදී ඔවුන් අපේක්‍ෂා කරන විනෝදකාමී ජීවිතය විසින් පිළිකෙව් කරනු ලබන්නකි.

ක්‍රීඩකයන් ඔවුන්ගේ කාමර තුළ කූඩු කර තබනු ලැබේ. එය සිර ගෙයකට සමානය. ඔවුන්ට කිසි තැනෙක යා නොහැකිය. ආරක්‍ෂක භටයෝ මුර තබාගෙන සිටිති. තම තමන්ගේ කාමර තුළම සිටිමින් කාඞ් සෙල්ලම් කිරීම හෝ වෙනත් වෙනත් ගෘහස්ථ ක්‍රියාකාරකම් වල නිරත වීම හැරෙන්නට නිදන්නට පෙර ඔවුන්ට කළ හැකි වෙනත් යමක් නැත.

හෝටලයේ ව්‍යායාම ශාලාව සහ පිහිනුම් තටාකය දෙස බලන්නට වත් ක්‍රීඩකයන් කැමති නැත. ඔවුන් කරන එකම දේ කාමරයට වී සිටීමයි.

ඒත් ඇත්තටම ප්‍රශ්න පටන් ගන්නේ මෙතැනිනි.

පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරුවකු වශයෙන් මම එක දෙයක් දනිමි. එනම් ක්‍රීඩකයන්ට ඕනෑවට වඩා කාලය තිබෙන විට එය ඔවුන්ට ප්‍රශ්න නිර්මාණය කරන්නක් වන බවයි. ඔව්හු ඕනෑවට වඩා සිතති. කිසියම් තරගයකදී තමන් දැවී ගියේ කොහොමද.... නැත්නම් තම තමන්ගේ පුද්ගලික ප්‍රශ්න ගැන ඕනෑවට වඩා සිතති. අවසානයේදී සිදුවන්නේ ඔවුන්ගේම මනස ඔවුන්ගේ සතුරා වීමයි.

වර්තමානයේදී ක්‍රිකට් ලෝකයේ ප්‍රධාන තේමාව වන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් යහපත් මානසික තත්ත්වයක තබමින් ඔවුන්ගේ දස්කම් වැඩිකරගැනීමට උදව් උපකාර කරන්නේ කෙසේද යන්නයි. එහෙත් පාකිස්තානය වැනි පමණට වඩා ආරක්‍ෂක ක්‍රමෝපායයන් පවතින රටකට යාමෙන් එවන් තත්ත්වයක් අපේක්‍ෂා කළ හැකිද?

මේ වසර මුලදී මමත් කරච්චියේ සිටියෙමි. අපව ආරක්‍ෂා කිරීම සඳහා පාකිස්තානු හමුදාවේ 10,000 කට වැඩි පිරිසක් රාජකාරියේ නිරතව සිටියහ. ඒ සෑම සොල්දාදුවකුම බර අවි දරා සිටි අතරම ඔවුන් පසුපසින් තිබූ යුද්ධ රථ මහත් විනාශකාරී අවි වලින් සන්නද්ධ ව තිබිණ. ඒ අතරවාරයේදීම යුද හෝ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් රථ දෙක තුනක් නිරන්තරයෙන්ම අපගේ හිස වටා කරකැවෙමින් තිබිණ.

මේ තත්ත්වය මඟ හැරිය හැක්කක් නොවේ.

එවන් තත්ත්වයකදී හිතට නැඟෙන්නේ එකම දෙයකි. එනම් ඇත්ත වශයෙන්ම අප කිසිවකුගේ ඉලක්කයක් විය හැකිය යන්නයි. එසේ නොවන්නේ නම් එවන් ආකාරයේ ආරක්‍ෂක ක්‍රමෝපායයන් අවශ්‍ය නොවේ.

මේ ආකරයේ ආරක්‍ෂාවක් වෙනුවෙන් ඩොලර් ලක්‍ෂ 4 ක් හෝ ඩොලර් ලක්‍ෂ 5 ක් පමණ වැය කිරීමට පාකිස්තානු රජයට සිදුව තිබේ. එබැවින් ලබන වසරේදී ඕස්ට්‍රේලියානු පිල පාකිස්තානයේ සංචාරය කරන්නේ නම්, සති 3 ක් ඇතුළත පැවැත්වෙන ටෙස්ට් තරග 2 ක් සහ විස්සයි-20 තරග 3 ක් වෙනුවෙන් ආරක්‍ෂක වියදම ඩොලර් මිලියන 10 කට ආසන්නය.

ඒ කෝක වෙතත් මා නම් හිතන්නේ ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අප එහි යා යුතු බවයි. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර ඇති ක්‍රිකට් සම්බන්ධතාද මෙහිදී අමතක කළ යුතු නැත.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කෙවින් රොබට්සන් මහතාගෙන් මම වරක් මේ ගැන ඇසුවෙමි. ක්‍රීඩකයන් පාකිස්තානයට යැවීමට මෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කිරීමට යවන්නේද යන්නත් මම විමසා සිටියෙමි. එලෙසින්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ඊළඟ වතාවේදී පාකිස්තානයට යන්නේ කවදාද යන්නත් මම ඇසුවෙමි.

“අන්තර්ජාතික ක්‍රිකට් තරග පාකිස්තානයේදී නැවත පැවැත්වීම සම්බන්ධයෙන් ඔවුන්ට තිබෙන ආශාව සහ උනන්දුව අප පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මාසයේදී ටෙස්ට් තරග දෙකක් සඳහා පාකිස්තානයේ සංචාරය කිරීමට එකඟ වී තිබීමත් අපව උනන්දු කරවන්නක්”

“ඒත් අපි තීරණයක් ගැනීමට ඉක්මන් වෙන්නේ නෑ. අපි තත්ත්වය ගැන විමසිල්ලෙන් බලා ඉන්නවා. විශේෂඥයන්ගෙන් තොරතුරු ලබාගන්නවා විතරක් නෙමේ මගේ ආසන්නතම ඉස්ලාමාබාද් සංචාරයේදී සාකච්ඡා කළ දේවලිනුත් කරුණු අරගන්නවා....ප්‍රධාන වශයෙන්ම අපගේ මූලික අරමුණ වන්නේ ක්‍රීඩකයන්ගේත් කාර්ය මණ්ඩලයේත් ආරක්‍ෂාවයි” යයි කෙවින් රොබට්සන් මහතා පැවසීය.

එයින් කියැවෙන්නේ ශ්‍රී ලංකා සංචාරයත් සමගින්, පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව කිසියම් නිවැරදි දිශාවකට ගමන් කරමින් තිබෙන බවයි. මා හිතන්නේත් ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මෙන්ම ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර ඇති ක්‍රිකට් සම්බන්ධතාද සැලකිල්ලට ගැනීමේදී අප එහි යා යුතු බවයි.

බොහෝ ක්‍රිකට් පාලක මණ්ඩල, හිටපු ක්‍රීඩකයන්, මාධ්‍ය සහ ප්‍රේක්‍ෂකයන් අමතක කරන දේ මෙයයි. මේ වගේ ආරක්‍ෂක ක්‍රියාමාර්ග මැද්දේ....ක්‍රීඩකයන් මාසයක පමණ කාලයක් හෝටලයක් ඇතුළට වී සිටීම විනෝදයක් නොවේ. එහෙත් සාර්ථක කණ්ඩායමකට විනෝදය අත්‍යවශ්‍ය දෙයකි. එබැවින් ඇතැම් ක්‍රීඩකයන් මෙම කාරණාවම හේතු පාදක කරගනිමින් සංචාරයට එක් නොවී සිටිය හැකිය.

පාකිස්තානයේ සංචාරයකට සහභාගි වෙනවාද නැද්ද යන්න තීරණය කිරීමේදී ඔවුන් විසින් ගනු ලබන තීරණය ක්‍රීඩකයන්ටම හානිකර විය හැකිය. මෑතකදී පැවැති පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේදී පාකිස්තානයේ ක්‍රීඩා කිරීම වෙනුවෙන් ක්‍රීඩකයන්ට අතිරේක මුදලක් ගෙවන ලදි. එම තීරණය සම්බන්ධයෙන් මම කෝපාවිෂ්ඨව සිටියේ එය පුහුණුකරුවන්ට මෙන්ම අනෙකුත් කාර්ය මණ්ඩලයට නොලැබුණු බැවිනි. එයින් කියැවුණේ ක්‍රීඩකයන්ගේ ජීවිත අපට වඩා වටිනා බවද ?

ඇතැම් ක්‍රීඩකයන් කියා සිටියේ ආරක්‍ෂක තත්ත්වය මෙන්ම ඇතිවිය හැකි ත්‍රස්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් තමන් පාකිස්තානයේ සංචාරය නොකරන බවයි. එහෙත් අතිරේක මුදල් දුන් පසුව ඔව්හු එය අරගෙන පාකිස්තානයට ගියහ. ඔවුන්ගේ අරමුණු සහ වඩා වැදගත් කාර්යයන් මොනවාද යන්න සම්බන්ධයෙන් මම වික්ෂිප්තභාවයට පත්ව සිටිමි. එයින් කියැවෙන්නේ ඔවුන්ගේ ආරක්‍ෂාවට වඩා මුදල් වටිනා බවද ?

වසර 2009 දී ත්‍රස්තවාදීහු 12 දෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට වෙඩි තැබූහ. පාකිස්තානු ජාතික පොලිස් නිලධාරීහු හය දෙනෙක් සහ සාමාන්‍ය වැසියෝ දෙදෙනෙක් මියගියහ. විනිසුරුවරයකුට වෙඩි දෙකක් වැදුණ නමුත් වාසනාවකට මෙන්ම ඔහුගේ ජීවිතයට හානියක් නොවීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම තුවාල ලැබූහ.

එහෙත් කාලයා විසින් බොහෝ තුවාල සුවකරනු ලබයි.

ක්‍රීඩකයන් කොතැන ගියත් ඒ සෑම තැනකම දැඩි ආරක්‍ෂක රැකවල් තිබේ. ක්‍රීඩකයන් මේ බව පිළිගත යුතුව ඇත. අවාසනාවකට මෙන්, රට රටවල සංචාරය කිරීම, ඒ කාලයේ තිබූ තරම් විනෝදමත් කාර්යයක් නොවේ.



අදහස් (0)

පාකිස්තානු සංචාරයක නොදුටු පැත්ත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.