Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජෝ රූට් - බෙයාර්ස්ටෝ එක්ව එංගලන්තයට වාසිය ගෙනෙති

ජෝ රූට් - බෙයාර්ස්ටෝ එක්ව එංගලන්තයට වාසිය ගෙනෙති

දමින්ද විජේසූරිය - 2021 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දුර්වල පිතිහරඹයත්, අවාසනාවන්ත දැවී යාම් දෙකකටත් මැදිවූ ශ්‍රී ලංකා පිලේ මුල් ඉනිම ලකුණු 135 කට සීමා කළ එංගලන්ත ක්‍රීඩකයෝ ගාල්ල ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ මුල් දිනයේදීම තරගයේ වාසිය මිට මොළවා ගත්හ. පළමු දිනය නිමා වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 127 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් අතැතිව තිබියදීම ශ්‍රී ලංකා පිලට ලකුණු 8 ක් තරම ආසන්නයෙන් සිටී.

මෙම ලකුණු 135, ශ්‍රී ලංකා කණ්ඩායමක් ගාල්ල ක්‍රීඩාංගණයේදී දැවී ගොස් ඇති අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද වාර්තා වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 17 ක් තුළදී එංගලන්තයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යැවීය. එහෙත් ජොනී බෙයාර්ස්ටෝ සහ නායක ජෝ රූට් දෙදෙනා, තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් එංගලන්ත පිල මෙම ස්ථාවර තත්ත්වය කරා කැඳවාගෙන ගියහ.

ජෝ රූට් ලකුණු 20 ක් ලබා සිටියදී ඇඹුල්දෙණියගේ පන්දුවක් පා ආවරණයේ වැදීම නිසා දැවී ගිය ක්‍රීඩකයකු ලෙසින් නම්කරන ලද නමුත් විනිසුරු තීරණ විමසීමේ සහාය ඉල්ලා සිටි රූට් තමන්ගේ කඩුල්ල බේරාගත්තේය. එයින් මනා ප්‍රයෝජන ගත් එංගලන්ත නායකයා, කිසිදු අපහසුවකින් තොරවම, සිය 98 වැනි ටෙස්ට් තරගයේදී 50 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කළේය.  

දිමුත් කරුණාරත්නගේ හිස්තැන පිරවීමට ආරම්භක පිතිකරුවාගේ ස්ථානය ගත් ළහිරු තිරිමාන්නට පිටියේ රැඳී සිටීමට හැකිවූයේ යන්තම් අඩහෝරාව ඉක්මවූ කාලයක් පමණි. පන්දු 22 කට මුහුණ දුන් තිරිමාන්න ලකුණු 4 කට දැවීගියේ ලකුණු 16 ක් ව තිබියදී පළමු සාර්ථකත්වය එංගලන්තයට පිරිනමමිනි. ඒ සමගම ටෙස්ට් පිතිකරුවන් අතරේ අපකීර්තිමත් වාර්තාවක්ද තිරිමාන්න කරපින්නා ගත්තේය.

ටෙස්ට් ඉනිම 50 කට හෝ ඊට වඩා වැඩියෙන් සහභාගි වූ පිතිකරුවන් අතර (මෙම ලයිස්තුවට ඇතුළත් වන්නේ අංක 1 සිට 6 දක්වා ස්ථාන වල පන්දුවට පහර දුන් පිතිකරුවන් පමණි) අඩුම සාමාන්‍යය හිමි පිතිකරුවා වන්නේ තිරිමාන්නයි. ටෙස්ට් තරග 37 කදී ඉනිම 70 කට මුහුණ දුන් ළහිරු තිරිමාන්න ලකුණු 1412 ක් රැස්කර ඇතත් එහි ඉනිමක සාමාන්‍යය වන්නේ 22.06 කි.

පිට පිටම සිව්වැනි වතාවටත් කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගිය අතර ඩොම් බෙස්ට්ට පළමු කඩුල්ල පූජා කරමින් කුසල් පෙරේරා පිටියෙන් ඉවත් විය. පසුව එක්වූ ඇන්ජලෝ මැතිව්ස් සහ තාවකාලික නායක දිනේෂ් චන්දිමාල් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 6 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ ලෙග් කටර් පන්දුවකට මැතිව්ස් ගැසූ පහරකින් ඒ සම්බන්ධතාවත් නිමා විය.

මහපටැඟිල්ලේ සියුම් පිපිරීමක් නිසා දිමුත් කරුණාරත්න මෙම තරගයට සහභාගි නොවෙයි.

අද දිනයේදී ඇන්ජලෝ මැතිව්ස් 6000 වැනි ටෙස්ට් ලකුණ සම්පූර්ණ කළ අතර දිනේෂ් චන්දිමාල් ටෙස්ට් ලකුණු 4000 සම්පූර්ණ කළේය. මෙම තරගාවලියේදී සිය පළමු ටෙස්ට් ශතකය සොයා යන්නේ යයි කියමින් සිටි නිරෝෂන් දික්වැල්ල තමන්ගේ කඩුල්ල ඩොමිනික් බෙස්ට්ට තිළිණ කළේ ඇදහිය නොහැකි තරමේ දුර්වල පහරකිනි. ටෙස්ට් ඉනිම 71 කදී ලකුණු 2035 ක් ලබා ඇතත් දික්වැල්ල තවමත් ටෙස්ට් තරගයකදී ශතකයක් ලබා නැත.

හෙට තරගයේ දෙවැනි දිනයයි.

 


අදහස් (0)

ජෝ රූට් - බෙයාර්ස්ටෝ එක්ව එංගලන්තයට වාසිය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.