Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාවට ඓතිහාසික ජයක්

ඉන්දියාවට ඓතිහාසික ජයක්

editorial - 2021 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

වසර 70 කට පසුව බ්‍රිස්බේන්හී ගැබා ක්‍රීඩාංගණයේදී හඹාගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කරමින් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති සිව්වැනි ටෙස්ට් තරගය කඩුලු 3 කින් ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම අද (19 වැනිදා) සමත්විය. මින් පෙර 1951 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 236 ක ඉලක්කයක් හඹායමින් ඕස්ට්‍රේලියාව තබා තිබූ වාර්තාව මේ අනුව බිඳවැටිණ.

එමෙන්ම වසර 33 කට පසුව ගැබා ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ටෙස්ට් තරගයක් පරාජයට පත්වූ පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා වෙයි. ඕස්ට්‍රේලියාව එදා පරාජය වූයේ ක්‍රිකට් පිටියේ යකඩ රෑන හෙවත් බටහිර ඉන්දීය කොදෙව් පිල වෙතිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 328 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව කඩුලු 7 ක් පමණක් දැවී තරගයේ අවසන් දිනයේ අවසන් පැයේදී ඉලක්කය පසුකර ගියේය. ඒ අනුව තරගාවලිය 2-1 ක් ලෙස ජයගත් ඉන්දියාව ප්‍රසාද ලකුණු 60 ක් හිමිකර ගනිමින් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය. ප්‍රසාද ලකුණු 30 ක් හිමිකර ගත් ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා පහත වැටුණේය.

තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද තරගය ආරම්භ කරන විට කිසිවකු නොදැවී ලකුණු 4 ක් ලබාසිටි ඉන්දීය කණ්ඩායම දිනයේ අවසන් පැය ආරම්භ වනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 265 ක් රැස්කර සිටියේය. කඩුලු 6 ක් අතැතිව සිටි ඉන්දීය පිලට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 69 ක් අවශ්‍ය වූයේය.

තවත් ලකුණු 6 ක් ඉන්දීය පිලට එක්වන විට පන්දුවට පහරදෙමින් සිටි මයන්ක් අගර්වාල්ගේ පිත්ත අසලින් ගිය පන්දුවක් උඩපන්දුවක් ලෙස රැකගත්තේ යැයි කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන් කළ ඉල්ලිමක් විනිසුරු බෘස් ඔක්සන්ෆර්ඩ් විසින් නිශ්ප්‍රභා කරන ලදි. නමුත් විනිසුරුවරයාගේ තීරණය සමගින් එකඟ නොවූ නායක ටිම් පේන් තෙවැනි විනිසුරුගේ සහය පැතීය.

පුනරූපණ නැරඹීමේදි පන්දුව පිත්තේ නොවැදී කඩුලු රකින්නා වෙත යන බවට තෙවැනි විනිසුරු පෝල් රයිෆල් විසින් තීරණය කරනු ලැබීමත් සමගින් ඕස්ට්‍රේලියානු පිලෙන් විනිසුරු තීරණයට අභියෝග කිරීමේ අවස්ථාවක් අහිමිව ගියේය.

ඕස්ට්‍රේලියානු පිලේ විනිසුරු තීරණයට අභියෝග කිරීමේ අවස්ථාවෙන් මයන්ක් අගර්වාල් බේරී ගියද ඊළඟට යවන ලද පන්දුවෙන් බේරීමට ඔහුට අවස්ථාවක් නොවීය. පැට් කමින්ස්ගේ පන්දුවකට ගැසූ ඩ්‍රයිව් පහරකින් ඇදී ගිය පන්දුව ශෝර්ට් කවර් කලාපයේ පන්දු රකිමින් සිටි මැතිව් වේඩ් ඔහුගේ හිසට ඉහළින් යද්දී උඩපැන ඉතා දක්ෂ ලෙස රැකගත්තේය.

පන්දු 48 කදී ලකුණු 50 ක් අවශ්‍යව තිබියදී පිට පිට ඕවර දෙකකදී ලකුණු 26 ක් උදුරාගත් රිෂාබ් පාන්ට් (නොදැවී 89) සහ වොෂින්ටන් සුන්දර් (22) ඉන්දියාව ජයග්‍රහණය දෙසට තල්ලු කිරීමට සමත්වූහ. ජයග්‍රහණයට ආසන්න වනවිට වොෂින්ටන් සුන්දර් සහ ශර්දුල් ඨාකූර් දැවී ගියද ඉන්දීය පිලේ ජයග්‍රහණයට හරස් කැපීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට අවස්ථාවක් නොලැබිණි. ලකුණු 85 ක් ලබාගනිමින් ඉන්දිය පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට දැඩි වෙහෙසක් දැරූ රිෂාබ් පාන්ට්, වේග  පන්දු යවන්නා වූ ජොෂ් හේසල්වුඩ්ට හතරේ පහරක් එල්ල කරමින් ජයග්‍රහණය තහවුරු කළේය.

ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා පළමු කඩුල්ල ලෙස ලකුණු 7 ක් රැස්කර සිටියදි පැට් කමින්ස්ගේ පන්දුවකට ටිම් පේන් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. නමුත් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 114 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ජයග්‍රහණයේ අඩිතාලම දැමීමට ශුබ්මන් ගිල් සහ චෙටේෂ්වර් පුජාරා සමත්වූහ.

ශතකය ආසන්නයට පැමිණි ශුබ්මන් ගිල් පිට දඟ පන්දු යවන්නා වූ නේතන් ලයන්ගේ පන්දුවක් හමුවේ ස්ටීවන් ස්මිත් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට ලකුණු 91 ක් රැස්කර සිටියේය. ලකුණු 56 ක් ලබාසිටි චෙතේෂ්වර් පුජාරා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට පැට් කමින්ස් සමත්විය.

කඩුලු 400 සම්පූර්ණ කර ගැනීමේ බලාපොරොත්තුවෙන් 100 වැනි ටෙස්ට් තරගයට එක්වූ නේතන් ලයන්ට සිය බලාපොරොත්තු ඉෂ්ඨ කර ගැනීමට අවස්ථාවක් නොවීය. කඩුලු 400 සම්පූර්ණ කර ගැනීමට කඩුලු 4 ක් පසුපසින් සිටි ලයන්ට ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් ටෙස්ට් තරගයේදී දවා ගැනීමට හැකිවූයේ කඩුලු 3 ක් පමණි. එසේ වුවත් ටෙස්ට් තරග 100 කට සහභාගි වීම වෙනුවෙන් සියලුම ඉන්දිය ක්‍රීඩකයන්ගේ අත්සන් තැබූ තරග කමිසයක් නේදන් ලයන්ට පිරිනැමිණ.


ඕස්ට්‍රේලියා - පළමු ඉනිම 369
ඉන්දියාව - පළමු ඉනිම 336
ඕස්ට්‍රේලියා - දෙවැනි ඉනිම 294
ඉන්දියාව - දෙවැනි ඉනිම 329/7

(ශුබ්මන් ගිල් 91, චෙතේෂ්වර් පුජාරා 56, අජින්ක්‍යා රහනේ 24, රිෂාබ් පාන්ට් නොදැවී 89, වොෂින්ටන් සුන්දර් 22, පැට් කමින්ස් 55/4, නේතන් ලයන් 85/2)

 

 

රිෂාබ් පාන්ට් ...

- 2079

 


අදහස් (0)

ඉන්දියාවට ඓතිහාසික ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.