Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අලී - ජොනී දෙදෙනාම එංගලන්ත සංචිතයෙන් හැළෙති

අලී - ජොනී දෙදෙනාම එංගලන්ත සංචිතයෙන් හැළෙති

editorial - 2020 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන සතියේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගය සඳහා නම්කරන ලද ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් යුත් එංගලන්ත සංචිතයෙන් මොයින් අලි සහ ජොනී බෙයාර්ස්ටෝ යන දෙදෙනාම ඉවත්කර තිබේ.  ටෙස්ට් පිටියෙන් තරමක විවේකයක් ලබා සිටි පිට දඟ පන්දු යවන මොයින් අලී නැවතත් ටෙස්ට් ක්‍රිකට් පිටියට  පිවිසීමට සූදානමින් සිටියේය. එහෙත් එංගලන්ත තේරීම් කමිටුව වත්මන් දඟ පන්දු යවන්නා වන ඩොම් බෙස් සමඟ ඉදිරියට යාමට සූදානම් වෙයි.

එංගලන්තය සහ කොදෙව් පිලට අතර පළමු තරගය ලබන බදාදා (8 වැනිදා) සදම්ප්ටන්හිදී ආරම්භ වේ.

කඩුලු රකින පිතිකරු ජොනී බෙයාර්ස්ටෝ මුහුණ දී සිටින්නේද මොයින් අලි මුහුණ දුන් තත්ත්වයටමය. මෙම තරඟය සඳහා බෙයර්ස්ටෝගේ ඉරණම කුමක්ද යන්න පැහැදිළි වූයේ ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය වෙනුවෙන් කඩුල්ල පිටුපස කටයුතු කළ ජොස් බට්ලර්, එංගලන්ත පිලේ තාවකාලික නායකයා වන බෙන් ස්ටෝක්ස්ගේ දෙවැනියා ලෙස නම් කිරීමත් සමඟය.

සිය දෙවන දරුවාගේ උපත සිදුවන අවස්ථාවේදී බිරිඳ අසල සිටීමේ අටියෙන් එංගලන්තයේ නිත්‍ය නායක ජෝ රූට් මෙම තරගය සඳහා සහභාගි නොවෙයි.

රූට් කණ්ඩායමේ නොසිටියද රෝරි බර්න්ස්, ඩොම් සිබ්ලි, සැක් ක්‍රෝලි සහ ජෝ ඩෙන්ලි මෙම තරගාවලියේදී තමන්ගේ හොඳම දස්කම් පෙන්වීමට සූදානම් වන අතර දිගුකාලීන උප නායකයාව සිටි ස්ටොක්ස් පළමු වරට නායකත්වයේ වගකීම කරට ගෙන සිටී.

ප්‍රවීණ වේග පන්දු යවන්නන් වන ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් මෙම තරගය සඳහා නම්කළ 13 දෙනා අතර සිටින වේග පන්දු යවන්නෝ වෙති. මාක් වුඩ් සහ ක්‍රිස් වෝක්ස් දෙදෙනාට අමතරව බාබඩෝස්හි උපන් ජොෆ්රා ආචර්ද වේග පන්දු යවන්නෙකි.

8 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගය කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයම අගුලු දැමීමෙන් පසුව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයයි.


එංගලන්ත සංචිතය:
බෙන් ස්ටොක්ස් (ඩර්හැම්), ජේම්ස් ඇන්ඩර්සන් (ලැන්කෂයර්), ජොෆ්රා ආචර් (සසෙක්ස්), ඩොමිනික් බෙස් (සමර්සෙට්), ස්ටුවර්ට් බ්‍රෝඩ් (නොටින්හැම්ෂයර්), රෝරි බර්න්ස් (සරේ), ජොස් බට්ලර් (ලැන්කෂයර්), සැක් ක්‍රෝලි (කෙන්ට්) ), ජෝ ඩෙන්ලි (කෙන්ට්), ඔලී පෝ (සරේ), ඩොම් සිබ්ලි (වෝර්වික්ෂයර්), ක්‍රිස් වෝක්ස් (වෝර්වික්ෂයර්) සහ මාක් වුඩ් (ඩර්හැම්)

 

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය

ජුලි 08-12: පළමු ටෙස්ට් තරගය සදම්ප්ටන්හිදී
ජුලි 16-20: දෙවැනි ටෙස්ට් තරගය මැන්චෙස්ටර්හිදී
ජුලි 24-28: තුන්වැනි ටෙස්ට් තරගය මැන්චෙස්ටර්හිදී

- 213


අදහස් (0)

අලී - ජොනී දෙදෙනාම එංගලන්ත සංචිතයෙන් හැළෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.