Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණයි

තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණයි

නාමල් පතිරගේ - 2020 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරට නියමිත 98 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලිය තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සීමිත පිරිසක් පමණක් සහභාගි කර ගනිමින් වසර අවසානයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ. කොරෝනා වසංගත තත්ත්වය උද්ගතවීමෙන් පසුව පළමු වරට රැස්වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මධ්‍යම කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

මෙම වසරට නියමිත ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වීම පාසල් නැවත ආරම්භ කිරීමෙන් පසුව ඇතිවන තත්ත්වය සැළකිල්ලට ගනිමින් තීරණය කිරීමට නියමිතය. කෙසේ වුවත් ඒ සඳහා සුගතදාස ක්‍රීඩාංගණය ඔක්තෝබර් මාසයේ දින තුනක් සඳහා වෙන්කර ගැනීමටද තීරණය වී තිබේ.

පෙබරවාරි මාසයෙන් පසුව පැවැති මලල ක්‍රීඩා සංගමයේ මධ්‍යම කමිටු රැස්වීමට මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, ලේකම් ප්‍රේමා පින්නවල, භාණ්ඩාගාරික ශාන්ත ද සිල්වා යන මහත්වරු ඇතුළු විධායක සභාව දිස්ත්‍රික් හා ක්‍රීඩා සමාජ නියෝජිතයෝ බහුතරයක් සහභාගිවී සිටියහ. ‘වීඩියෝ’ තාක්ෂණය ඔස්සේද එම නියෝජිතයෝ පිරිසක් මධ්‍යම කමිටු රැස්වීමේදී අදහස් හුවමාරු කර ගත්හ.

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ සහන කාලයක් ලබන දෙසැම්බර් 1 වැනිදා සිට 2021 ජුනි 29 වැනිදා දක්වා වන පරිදි ප්‍රකාශයට පත්කර තිබේ. එම තත්ත්වය සැළකිල්ලට ගනිමින් 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශුරතාවලිය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට මලල ක්‍රීඩා සංගමය සැලසුම්කර තිබේ.

ජාතික මලල ක්‍රීඩා සංචිතයේ අළුත්ම තේරීම් ඉලක්ක කර ගනිමින් ඔක්තෝබර් මාසයේ යොදා ගත් දෙදිනකදී විශේෂ තේරීම් තරගයක් පැවැත්වීමටද කමිටු රැස්වීමේදී නියෝජිතයෝ එකඟතාවයට පැමිණ තිබේ.

සාග් රන් පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27 දෙනකුගෙන් සමන්විත සුපිරි මලල ක්‍රීඩා සංචිතයේ පුහුණුවීම් මේ වනවිට සෞඛ්‍ය නිරෝධායන නියාමනයන් යටතේ ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ පිටියේදී ආරම්භවී තිබේ. සාග් රන් පදක්කම්ලාභින් හැරෙන්නට ඒ සඳහා මීටර 800 ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි, තුන් පිම්ම ක්‍රීඩිකා විදුෂා ලක්ෂාණි ද කැඳවා තිබේ.

ජාතික මලල ක්‍රීඩා සංචිතය පවත්වාගෙන යාමේ අරමුණ එළඹෙන වසරට නියමිත ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය, ටෝකියෝ ඔලිම්පික් උළෙල ආදී ප්‍රධානතම අන්තර් ජාතික මලල ක්‍රීඩා තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීමයි. ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියද මෙම වසරට පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි අපේක්ෂා කෙරේ.

නවතම ලකුණු ක්‍රමය යටතේ ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහ හා තුන් පිම්ම ක්‍රීඩක ග්‍රේෂන් ධනංජයද ටෝකියෝ ඔලිම්පික් උළෙලට දෙවැනි පෙළ මට්ටමින් සුදුසුකම් ලබා ගැනීමට ආසන්නවී සිටින බවද වැඩි දුරටත් වාර්තාවේ.

මධ්‍යම කමිටු රැස්වීමේදී වසර 2022ට යෙදෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ශත සංවත්සරයද සාකච්ඡාවී තිබේ. ඒ සඳහා විශේෂිත සමරු උත්සවයක් පැවැත්වීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස මලල ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු මහතා පැමිණ සිටි නියෝජිතයන්ට දැනුම්දී තිබේ. ආසියාවේ දෙවැනි පැරැණිතම ජාතික මලල ක්‍රීඩා සංගමය වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වසර 1922 පෙබරවාරි 18 වැනිදා ස්ථාපිත කර තිබේ.

ලංකා මලල ක්‍රීඩා සංගමය යනුවෙන් මුල් කාලයේ එය හැඳින්වූ අතර පසුව එය ශ්‍රී ලංකා ආධුනික මලල ක්‍රීඩා සංගමය යනුවෙන් හැඳින්වෙන අතර වසර 2002 දී එහි ‘ආධුනික’ නාමය ඉවත් කෙරුණි. 1922 දී එහි මුල්ම සභාපතිවරයා වූයේ බ්‍රිතාන්‍ය ජාතික කර්නල් ටී. වයි. වයිට් මහතාය. ආසියාවේ පළමු ජාතික මලල ක්‍රීඩා සංගමය බිහි  කිරීමේ ගෞරවය ලබා ඇත්තේ එවකට තායිවානය ලෙස හැඳින්වූ චීන - තායිපේ රාජ්‍යයි.
 


අදහස් (0)

තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.