Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics කලාපීය ක්‍රීඩා උළෙල දෙකක් නොපෙනෙන ඉසව්වකට

කලාපීය ක්‍රීඩා උළෙල දෙකක් නොපෙනෙන ඉසව්වකට

editorial - 2020 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සුසිල් ප්‍රේමලාල්)
 
ආසියානු කලාපයේ ප්‍රධානතම ක්‍රීඩා උළෙල 2 ක් වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (SAG) සහ අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙල (SEA GAMES) ඉදිරි වසර කිහිපයක් යන තුරු නොපැවැත්වීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පවසයි. දැනට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසය නිසා මුළු ලොවම ආර්ථික අර්බුදයකට පත්ව ඇති හෙයින් මෙම තත්ත්වය උදාවී ඇතැයි සුබ්‍රමනියම් මහතා පෙන්වා දෙයි.
 
අග්නිදිග ආසියානූ ක්‍රීඩා උළෙල (SEA GAMS) ලබන 2021 වසරේ වියට්නාමයේ පැවැත්වීමට නියමිතය. මීළඟ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (SAG) 2022 වසරේ පකිස්ථානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට නියමිතය. එහෙත් මේ වන විට ලෝකය පුරා උද්ගතව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ක්‍රීඩා උළෙල දෙකින් එකක් හෝ නියමිත පරිදි එම වකවනුවල පැවැත්වීමට නොහැකි තත්ත්වයක් බොහෝ දුරට උදාවනු ඇතැයි සුබුමනියම් මහතා පෙන්වා දෙයි.
 
සාමාන්‍ය වශයෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන වසර වලදී ලෝකයේ කලාපීය වශයෙන් පැවැත්වෙන ක්‍රීඩා උළෙල නොපැවැත්වේ. අවසන් වරට පැවැති ආසියානු ක්‍රීඩා උළෙල 2018 දී ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්විණ. මීළඟ ආසියානු ක්‍රීඩා උළෙල වසර 2022 දී චීනයේ හැංග්ෂු නුවරදී පැවැත්වීමට නියමිතය.
 
වසර 2018 දී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී පැවැත්විණ. මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 දී එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වීමට තීරණය වී තිබේ.
 
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියද පසුගිය වසරේදී (2019) කටාරයේ දෝහා නුවරදී පැවැති හෙයින් මීළඟ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය යෙදී තියෙන්නේත් 2021 වසර සඳහාය. මෙම තත්ත්වය අනුව දකුණු ආසියානු ක්‍රීඩා උළෙල හෝ අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීමේ දින වකවානු සොයාගැනීම සංවිධායකයන්ට අසීරු අභියෝගයකි.
 
මෙම තත්ත්වයෙන් වඩාත්ම අසීරුවට පත්වන්නේ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති. ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් දිනාගැනීම සඳහා ඇති පළමු වැනි වේදිකාව වන්නේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලයි. දෙවැනි වේදිකාව අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙලයි. ආසියානු ක්‍රීඩා උළෙල ඇත්තේ මෙම ක්‍රීඩා දෙකටම ඔබ්බෙනි.

මේ වසරට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් දැමිමෙන් පසු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ලොව සියලුම ඔලිම්පික් කමිටු සභාපතිවරුන් අතර පැවැති දුරකථන සංවාදයේදී ඉදිරියේදී ගත යුතු පියවර රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරී තිබේ.
 
“ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරන රටවල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් 57 % ක් දැනටමත් ඔලිම්පික් යෝග්‍යතා පරිසාධන මට්ටම අභිබවා තියනවා. ඒත් 43 % ක් තවමත් එම පරිසාධන මට්ටම සම්පූර්ණ කොට නැහැ.“
 
“ලොව ප්‍රධානතම ක්‍රීඩා තරගාවලි රැසක් දින නියමයක් නැතුව කල් දමා තිබෙනවා. ඒ නිසා ඔලිම්පික් සුදුසුකම් නොලැබූ තවත් පිරිසකට මෙම වසරේදී ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවාලීමට නොහැකි වී තිබෙනවා..... ශ්‍රී ලංකාවේත් එකම ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් මෙතෙක් ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා නැහැ.... බොහෝ අය ඉදිරියේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි ඉලක්ක කරගනිමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමට බලාපොරොත්තුවෙන් හිටියත් ඉදිරි මාස 6 දීද ජාත්‍යන්තර තරගාවලි පැවැත්වෙන්නේ නෑ“ යයිද සුබ්‍රමනියම් මහතා පැවසීය.
 
මෙම තත්ත්වය අනුව, ක්‍රීඩකයන් ඉදිරි මාස 6 ක කාලය තුළ, නිරන්තරයෙන් ක්‍රීඩාවේ රැඳී නොසිටින බැවින්, 2021 වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉහළ පහළ යා හැකි නිසා ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ අවස්ථාව සම්බන්ධයෙන් ගැටළු මතුවිය හැකි බවද සුබුමනියම් මහතා පැවසීය.
 
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් වාර්ෂිකව ලබා දෙන ඇමරිකානු ඩොලර් 50,000 ආධාර මුදල් යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සංවර්ධනය සඳහා සැලසුම් කොට තිබූ වාර්ෂික ක්‍රීඩා වැඩසටහනද කල් දැමීමට ජාතික ඔලිම්පික් කමිටුවට සිදුවී තිබේ. එම වැඩසටහන් ලබන වසරේ මුල් වකවානුවේදී ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අනුමැතිය දී තිබේ.


අදහස් (0)

කලාපීය ක්‍රීඩා උළෙල දෙකක් නොපෙනෙන ඉසව්වකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.