Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෆිෆා වෙතින් රතු නිවේදනයක්

ෆිෆා වෙතින් රතු නිවේදනයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

තමන් දැනුවත් කර තිබෙන ආකාරයට නව මොඩලයේ ව්‍යවස්ථා සංශෝධනයකට යාමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර මුදල් අත්හිටුවන බවට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ඊයේ (1) ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

අන්තර් ජාතික පාපන්දු සම්මේලනය සිය සාමාජික රටවලට බොහෝ දුරට සමානකමක් ගන්නා පොදු ව්‍යවස්ථාවක් සකස්කර ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබෙන අතර ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් මුල් වරට දැනුවත් කිරීමට අන්තර් ජාතික සම්මේලනය පියවර ගෙන ඇත්තේ වසර 2014 දෙසැම්බර් 19 වැනිදා බව දැනගන්නට ඇත.

එසේ වුවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මේ වන විටත් නව ව්‍යවස්ථාව කෙටුම්පත් කර නොමැති අතර අන්තර් ජාතික පාපන්දු සම්මේලනයට සමගාමීව මෙරට පාපන්දු සම්මේලනය නව ව්‍යවස්ථාවකට යන්නේ නම් දේශීය පාපන්දු පරිපාලන කටයුතු මෙහෙයුම් බොහෝ දුරට වෙනස් ස්වරූපයකින් පවත්වාගෙන යාමට සිදුවනු ඇතැයි පාපන්දු ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී ප්‍රධානතම වෙනස්කමක් වන්නේ දැනට දිවයින පුරා ක්‍රියාත්මක පාපන්දු ලීග (සංගම්) වෙනුවට දිස්ත්‍රික් සංගම් පමණක් පවත්වාගෙන යාමට සිදුවීමය. එහිදී පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය දිස්ත්‍රික් හා කලාප පාපන්දු සංගම් 26 කට පමණක් සීමාකිරීමට සිදුවනු ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ. එහිදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයේදී එම දිස්ත්‍රික් සංගම් හැරෙන්නට දිවයිනේ ප්‍රමුඛතම පාපන්දු තරගාවලි ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජවලටද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයේදී ඡන්ද බලය ලබාදීමට යෝජනාවී තිබේ.

කෙසේ වුවත් පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථා සංශෝධනය වඩාත් සංකීර්ණ මුහුණුවරක් ගෙන ඇත්තේ ඒ තුළින් දැනට දිවයින පුරා ක්‍රියාත්මක පාපන්දු ලීග අහෝසි කර දැමීමේ ගැටළුවකට මුහුණදීමය.

ඒ අතර දැනට පාපන්දු ලීගයකට සම්මේලන නිලවරණයේදී හිමි ඡන්ද තුනක් වෙනුවට එය දිස්ත්‍රික් සංගමයට අනුබද්ධ සංගමයකට හෝ ක්‍රීඩා සමාජයකට එක් ඡන්දයක් බැගින් වන පරිදි යෝජනා කර තිබේ.

ඒ අතර දේශීය පාපන්දු පරිපාලනය පවත්වාගෙන යන සම්මේලනයේ තනතුරු ගණනෙහි වෙනසක් ද මෙන්ම ඒවායෙහි බලතල හා ක්‍රියාකාරකම්හිද සැළකිය යුතු වෙනස්කම්ද නව ව්‍යවස්ථා සංශෝධනයයෙන් සිදුකෙරෙනු ඇතැයිද දැනගන්නට ඇත. කෙසේ වුවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කළේ නව ව්‍යවස්ථා සංශෝධනයකට යාමට මාස දෙකක් පමණක් වන කාලයක් ප්‍රමාණවත් නොවන බැවින් ඒ පිළිබඳව අන්තර් ජාතික පාපන්දු සම්මේලනය සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර ඇති බවයි.

අන්තර් ජාතික පාපන්දු සමුළුව සිය සාමාජික රටවලට ලබාදෙන ආධාර මුදල් හා ප්‍රතිපාදන පසුගිය වසරේ සිට වැඩිකර තිබේ. ඒ අනුව මෙහෙයුම් ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක්ද හා යෝජිත සැළසුම් ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 7 1/2 ක් වන පරිදි ශ්‍රී ලංකාවටද වාර්ෂික ප්‍රතිපාදන ලබාදීම් සිදුකෙරේ.

 


අදහස් (0)

ෆිෆා වෙතින් රතු නිවේදනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.