
රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගයේදී සිය සුපුරුදු පිතිහරඹ රටාවට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ සිම්බාබ්වේ පිල කඩුලු 9 කින් පරාජය කරමින්, මෙම තරගාවලියේදී පළමු වතාවට ජයග්‍රාහකයන්ට හිමි ප්‍රසාද ලකුණු 2 පුවරුවට එකතු කළහ.
ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟ තරගයේදී පාකිස්තානය හමුවන අතර තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට නම් පාකිස්තානයට එරෙහි තරගය ජයගත යුතුව තිබේ.
ලබන බ්‍රහස්පතින්දා (27 වැනිදා) පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා පිලට ජයගත නොහැකි වුවහොත් ශුද්ධ ලකුණු වේගය අනුව සිම්බාබ්වේ කණ්ඩායම සහ පාකිස්තානය තරගාවලියේ අවසන් තරගයට පිවිසෙනු ඇත.
පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිතිකරුවෝ නියමිත ඕවර 20 නිමාවේදි කඩුලු 5 ක් දැවී ලබාගත්තේ ලකුණු 146 ක් පමණි. පැතුම් නිස්සංකගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ එය ඉතා පහසු ඉලක්කයක් වූ අතර නිස්සංක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා පන්දු 22 ක් ඉතිරිව තිබියදී තරගය අවසන් කළහ.
16 වැනි ඕවරය ආරම්භ වන විට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 10 ක් ද, පැතුම්ගේ ශතකය වෙනුවෙන් ලකුණු 12 ක් ද අවශ්‍ය වී තිබිණ. පැතුම්ගේ බලාපොරොත්තුව වී තිබුණේ හයේ පහර දෙකකින් සිය ශතකයත් ජයග්‍රහණයත් දෙකම එකවර ලබැගැනීම වුවත්, එක්ස්ට්‍රා කවර්ස් කලාපයට ඉහළින් ගැසූ පළමු පහරින් ඔහුට ලැබුණේ ලකුණු 4 කි.
දෙවැනි පන්දුවට ගැසූ අලංකාර පුල් පහරකින් ලකුණු 6 ක් ලබාගත් නමුත් ආරම්භක පිතිකරුවාට ලකුණු 98 න් නතර වීමට සිදුවිය.
පන්දු 58 කින් පැමිණි ලකුණු 98 ට හතරේ පහර 11 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත් වී තිබිණ.


- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.