
(ශානුක අරවින්ද)
අන්තර් ජාතික බොක්සිං සංගමයේ සංවිධානත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී පැවැත්වෙන 2025 පිරිමි බොක්සිං ලෝක ශූරතාවලියේ බර පංති 3 ක 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් සමත්ව සිටිති.
කිලෝ ග්‍රෑම් 48 බර පංතියෙන් තරග වදින ඩැනිල් තිසරාරච්චි, කිලෝ ග්‍රෑම් 54 බර පංතියෙන් තරග වදින රවිඳු කුමාර සහ කිලෝ ග්‍රෑම් 75 බර පංතියෙන් තරග වදින මොහොමඩ් උසෙයිත් එම ක්‍රීඩකයෝ තිදෙනා වෙති.
තරගාවලියේ දෙවැනි දිනය වූ පෙරේදා (5 වැනිදා) රාත්‍රියේ පැවැති කිලෝ ග්‍රෑම් 48 බර පංතියේ 32 දෙදෙනාගේ වටයේ තරගයකදී කෙන්යාවේ ඔයුන්ගි ඔන්යන්ගෝට එරෙහිව විනිසුරු තීරණ 4-1 ක ජයක් වාර්තා කරමින් ඩැනිල් තිසරාරච්චි 16 දෙනාගේ වටයට පිවිසියේය. 16 දෙනාගේ වටයේදී ඔහු ජෝජියාවේ සාඛිල් අලක්වෙඩෝවිට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත.
කිලෝ ග්‍රෑම් 54 බර පංතියේ මූලික වටයේදී නිතරග ජයක් ලබා 32 දෙනාගේ වටයට පිවිසි රවිඳු කුමාර, තරගාවලියේ තෙවැනි දිනය වූ ඊයේ (6 වැනිදා) එම බර පංතියෙ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේ 32 දෙනාගේ වටයේදී චීනයේ වෙයිකං චෙන්ග්ට එරෙහිව විනිසුරු තීරණ 3-2 ක ජයක් වාර්තා කරමිනි. 16 දෙනාගේ වටයේදී ඔහු තජිකිස්ථානයේ අනුෂෙර්වොන් ෆසුලොව්ට හෝ සැම්බියාවේ ම්වෙන්ගෝ ම්වාලේට එරෙහිව තරග වැදීමට නියමිතය.
කිලෝ ග්‍රෑම් 75 බර පංතියේ 64 දෙනාගේ වටයේ තරගයකදී රුවන්ඩා ක්‍රීඩක ඉනසෙන්ට් මුගෙන්ගා පරාජය කළ මොහොමඩ් උසෙයිත්, එම බර පංතියේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේ සෙනසුරාදා පැවැති 32 දෙදෙනාගේ වටයේ තරගයකදී ශාන්ත ලුසියා ක්‍රීඩක කයිල් මර්කෙල්ට එරෙහිව විනිසුරු තීරණ 5-0 ක ජයක් වාර්තා කරමිනි.
ඕස්ටේ්‍රලියාවේ මලකායි කටේන් 16 දෙනාගේ වටයේදී උසෙයිත්ගේ ප්‍රතිවාදියා බවට පත්ව සිටියි.
මෙතෙක් පැවැති මූලික වටයේ තරගවලදී ගයාන් රත්නසිරි (කි.ග්‍රෑ. 80 බර පංතිය), පත්මසිරි ගමගේ (කි.ග්‍රෑ. 67 බර පංතිය) සහ පසිඳු මිහිරාන් (කි.ග්‍රෑ. 51 බර පංතිය) යන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පරාජයට පත්වූහ. තරගාවලියේ සිවුවැනි දිනය වන අද (7 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන උදාර රූපස්සර කිලෝ ග්‍රෑම් 71 බර පංතිය යටතේද, රුක්මාල් ප්‍රසන්න කිලෝ ග්‍රෑම් 57 බර පංතිය යටතේද තරග බිමට පිවිසීමට සූදානමින් සිටියහ.
රටවල් 150 ක ක්‍රීඩකයන් 600 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගීවන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 8 දෙනෙක් එක්ව සිටිති. මෙම තරගාවලියේ රන් පදක්කමක් සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 3 ක් මුදල් ත්‍යාග ලෙස පිරිනමන අතර රිදී පදක්කමක් සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 1.5 ක්ද, ලෝකඩ පදක්කමක් සඳහා ඇමරිකානු ඩොලර් 75,000 ක්ද මුදල් ත්‍යාග ලෙස පිරිනැමීමට නියමිතය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.