Last Update  :  2025-08-16 16:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මෙන්ඩිස් - ජයසූරිය තුන්වැනි තරගයෙන් ඉවතට

මෙන්ඩිස් - ජයසූරිය තුන්වැනි තරගයෙන් ඉවතට

editorial - 2019 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ සිට)

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අනිද්දා (6 වැනිදා) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි විස්සයි-20 තරගය සඳහා කුසල් මෙන්ඩිස් සහ ෂෙහාන් ජයසූරිය යන දෙදෙනාම ක්‍රීඩා නොකරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. නවසීලන්තයට එරෙහිව ඊයේ (3 වැනිදා) පැවැති දෙවැනි තරගයේදී උඩපන්දුවක් රැකගැනීමට ගත් උත්සාහයේදී මෙම ක්‍රීඩකයෝ දෙදෙනා එකිනෙකාගේ ඇඟේ වැදී විසිවී වැටුණහ.

මෙම අනතුර හේතුවෙන් දෙදෙනාගේම දකුණු පාද ආබාධයට ලක්ව තිබේ. ක්‍රීඩකයන් දෙදෙනාම තුන්වැනි විස්සයි-20 තරගයට සහභාගි වීම අවිනිශ්චිත බව අසන්ත ද මැල් මහතා පවසයි.

ලකුණු 162 ක් හඹා ගිය නවසීලන්ත පිලට එරෙහිව අවසන් ඕවරය යැවීම වනිඳු හසරංගට බාර දෙන විට නවසීලන්ත පිලේ ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ ලකුණු 7 ක් පමණි. එහෙත් පිට පිටම පන්දු දෙකකදී පිතිකරුවන් දෙදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවූ හසරංග තරගය කණපිට පෙරළීමේ උත්සාහයක නිරත විය.

මිචෙල් සෑන්ට්නර්ගේ උඩපන්දුවක් රැකගැනීමට ලෝන්ග් ඕන් හි සිට දිවගිය ෂෙහාන් ජයසූරිය උඩපන්දුව රැකගත් නමුත් එම උඩපන්දුවම රැකගැනීමට දිවගිය කුසල් මෙන්ඩිස්ගේ ඇඟේවැදීම හේතුවෙන් විසිවී ගොස් වැටුණේය.

එකිනෙකාට මුහුණලා දිව ආ නමුත් දෙදෙනාගේම දෑස් තිබුණේ පන්දුව වෙත යොමුවී බැවින් ඔව්හු එකිනෙකා නොදුටූහ. සෑන්ට්නර්ගේ උඩපන්දුව ජයසූරියගේ දෑත් අතර රැඳුණ නමුත් දිව ආ වේගයත් සමගින් මෙන්ඩිස්ගේ සිරුරේ ගැටුණු ජයසූරිය විසිවී ගොස් හතරේ සීමාව මත වැටුණෙන් පිතිකරුවාට කඩුල්ල රැකගැනීමේ අවස්ථාව මෙන්ම ලකුණු 6 ක්ද හිමිවිය.

මෙන්ඩිස්ද හතරේ සීමාවෙන් ඉවතට විසිවී වැටුණු ඔවුන් දෙදෙනාට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා පිලේ හිටපු භෞත චිකිත්සකවරයකු වන, නවසීලන්ත පිලේ වත්මන් භෞත චිකිත්සකවරයා වන ටොමී සිම්සෙක්ස්  මහතාද ඉදිරිපත් විය.

මෙන්ඩිස්ගේ දණහිස ආබාධයකට ලක්වී ඇති අතර ජයසූරියගේ දණහිසට ඉහළින් ආබාධයකට ලක්ව තිබේ. මෙන්ඩිස් අද දහවල් එම්.ආර්.අයි. ස්කෑන් පරීක්‍ෂාවකට මුහුණ දුන් අතර එහි වාර්තාව හෙට ලැබීමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.

තරගාවලිය මේ වන විටත් පරාජය වී තිබෙන අතරම ඉතිරව ඇත්තේ එකම තරගයක් පමණි. එබැවින් ආබාධයනට ලක්වූ ක්‍රීඩකයන් දෙදෙනා වෙනුවට වෙනත් ක්‍රීඩකයන් නම් නොකෙරෙන බවද කණ්ඩායමේ කළමණාකරුවා මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයාද වන අසන්ත ද මැල් මහතා කියයි.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ කුසල් මෙන්ඩිස් තරග දෙකේදීම සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 103 ක් ලබාගත් අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 41 ක  සහ 34 ක සම්බන්ධතාද පැවැත්වීය. දෙවැනි තරගයට පමණක් ක්‍රීඩා කළ ෂෙහාන් ජයසූරිය පන්දු 13 කදී ලකුණු 20 ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය මාස 12 ක කාලය පුරාම විස්සයි-20 තරගයක් ජයගැනීමට අපොහොසත්ව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් විස්සයි-20 ජයග්‍රහණය වාර්තා වන්නේ පසුගිය වසරේ අගෝස්තු මස 14 වැනිදා දකුණු අප්‍රිකානු පිලට එරෙහිව කොළඹදීය.

 


අදහස් (0)

මෙන්ඩිස් - ජයසූරිය තුන්වැනි තරගයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.