Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිත්තක අගයවත් නැතිව පැත්තකට වීසිවන ක්‍රීඩකයෝ

පිත්තක අගයවත් නැතිව පැත්තකට වීසිවන ක්‍රීඩකයෝ

editorial - 2022 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ටෙනිස් පිත්තක මිල රුපියල් ලක්‍ෂයකට ආසන්නය. ඒවායේ මිල රුපියල් 90,000 සිට වෙනස් වෙයි. ටෙනිස් පන්දු ටින් එකක් රුපියල් 2,500 ක් පමණ වෙයි. එවන් කාල වකවානුවක, අනුග්‍රාහකයන්ගේ සහයද ඇතිව විශාල මුදලක් උපයමින් සංවිධානය කරනු ලබන ජාතික මට්ටමේ තරගාවලීන්හිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමිවන ත්‍යාග මුදල් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතිකාවතක් නිර්මාණය තිබේ.

ඊට ආසන්නම හේතුව ලෙස ජාතික මට්ටමේ තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි ක්‍රීඩකයකු, ඒ සඳහා ත්‍යාග මුදල ලෙස තමාට ලැබුණ රුපියල් 2000 ක් චෙක්පතක ඡායාරූපයක් සිය සිය ෆේස් බුක් ගිණුමේ ප්‍රචාරය කර තිබීම සඳහන් කළ හැකිය.

ඔහු එලෙස ප්‍රචාරය කර තිබුණේ ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සංවිධානයෙන් ඉකුත් මාර්තු මාසයේදී පැවැති මැටි පිටි ජාතික ටෙනිස් ශූරතාවලියේ ප්‍රධානම ඉසව්ව වූ විවෘත පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට පිවිසීම වෙනුවෙන් ඔහුට ලැබුණ චෙක්පතක ඡායාරූපයකි.

‘ලංකාදීප’ කළ සොයා බැලීමකදී දැනගත හැකිවූයේ එම තරගාවලියේ විවෘත කණ්ඩයේ ශූරයාට රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක්ද, අනු ශූරයාට රුපියල් 40,000 ක මුදල් ත්‍යාගයක්ද පිරිනමා ඇති බවය. එසේ වුවත් එහි අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ ක්‍රීඩකයන් දෙදෙනාට ලබාදී ඇත්තේ රුපියල් 5000 බැගින් වූ මුදල් ත්‍යාග වන අතර අර්ධ අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ ක්‍රීඩකයන් සිවුදෙනාට ලබාදී ඇත්තේ රුපියල් 2000 බැගින් වූ මුදල් ත්‍යාගය.

මෙම තරගාවලියේ තරග ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ලියාපදිංචිවීම් 880 ක් පමණ සටහන්ව ඇති අතර එක් ක්‍රීඩකයෙක් එක් ඉසව්වක් සඳහා පමණක් ඇතුළත්වීමේ ගාස්තු ලෙස රුපියල් 1600 ක මුදලක් ටෙනිස් සංගමයට ගෙවා ඇත. යුගල තරග සඳහා කණ්ඩායමක් ලියාපදිංචී කිරීමේදී ඊට ඇතුළත් තරගකරුවන් දෙදෙනාටම රුපියල් 1600 බැගින් ගෙවීමට සිදුව ඇත. ඒ අනුව බලන කළ ඇළත්වීමේ ගාස්තු මගින් පමණක් සංගමය රුපියල් ලක්ෂ 20 ක පමණ ආදායමක් උපයා තිබේ.

තවද උක්ත තරගාවලිය සඳහා දිවයිනේ ප්‍රධාන පෙලේ බැංකු දෙකක් අනුග්‍රහයන් ලෙස සිය දායකත්වය ලබාදී තිබේ. එහිදී ආහාර පාන සඳහා මෙන්ම තරගාවලියට යොදාගන්නා පන්දු වෙනුවෙන්ද වෙන වෙනම අනුග්‍රාහකයන් ටෙනිස් සංගමයට සහයෝගය ලබාදී තිබේ.

එබැවින් තරගාවලිය සංවිධානය කිරීම වෙනුවෙන් (අනුග්‍රාහකයන්ගෙන් ලැබුණ මුදල් හැර) සංගමයට සැලකිය යුතු වියදමක් දැරීමට සිදුව නැතැයි තතු දන්නෝ පවසති.

ජාතික තරගාවලියකට සහභාගි වන පිට පළාත් ක්‍රීඩකයන් වෙනුවෙන් කිසිදු සහනයක් සැලසීමට ටෙනිස් සංගමය ඉදිරිපත් නොවන නමුත්, සංගමයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් සේවයේ නියුතු වූවන්ට රුපියල් ලක්ෂයකට වැඩි වැටුප් ගෙවීමටත් ශ්‍රී ලංකා ටෙනිස් සංගමය කටයුතු කරන බවද දැනගන්නට ලැබේ. ජාතික තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් කොළඹට පැමිණෙන පිට පළාත් ක්‍රීඩකයන්ට දින කිහිපයක් කොළඹ නැවතී සිටීමට සිදුවන අතර එහිදී ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සහ කෑම බීම වෙනුවෙන්ද වියදම් දැරීමට සිදුවනු ඇත.

එසේ වුවත් තරගාවලියට සහභාගිවීම සඳහා වැයවන මුදලෙන් අඩක් හෝ එහිදී හිමිවන ත්‍යාග මුදලෙන් ආවරණය කරගැනීමට නොහැකි වීම පිට පළාත් ක්‍රීඩකයන් බහුතරයකගේ විශාලම ගැටලුව බවට පත්ව තිබේ. මෙම ගැටලුවට පිළියමක් යෙදීමට සංගමය අපොහොසත් වුවහොත් ටෙනිස් ක්‍රීඩාවද ඇතැම් ක්‍රීඩා මෙන්ම කොළඹ ධනපති පන්තියේ දරු දැරියන්ට පමණක් සීමාවනු ඇතැයිද ඔවුහු පවසති.

මැටි පිටි ජාතික තරගාවලියේදී ක්‍රීඩකයන් 64 දෙනකු අතරින් අවසන් ක්‍රීඩකයන් 8 අතරට පැමිණ පරාජය වූ ක්‍රීඩකයකුට හිමිව ඇත්තේ රුපියල් 2000 ක් පමණක් වුවද, එම තරගාවලිය සඳහා සංගමයේ ඉහළ නිලධාරීන් විසින් නම් කරන ලද තරගාවලි අධ්‍යක්ෂවරයා රුපියල් ලක්ෂයකද, සහකාර තරගාවලි අධ්‍යක්ෂවරයා රුපියල් 40,000 කද වැටුප් ලබා ඇති බවද අනාවරණය වේ.

ක්‍රීඩා ව්‍යවස්ථාවේ නීති රෙගුලාසි පිළිබඳව කිසිඳු තැකීමකින් තොරව සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පිට පිටම වසර 10 කට ආසන්න කාලයක් එම තනතුරුවල රැදී සිටින එකම ක්‍රීඩා සංගමය ලෙස ටෙනිස් සංගමය හංවඩු ගැසී තිබේ.

අසාධාරණයට පත්වන ක්‍රීඩකයින් ඒ වෙනුවෙන් හඬ නැගීමට ඉදිරිපත් නොවන්නේ සංගමයේ නිලධාරීන්ගෙන් තම ඉදිරි ගමනට බාධා පැමිණෙනු ඇතැයි යන බිය හේතුවෙන් බවද එහිදී ඇතැම්හු වැඩිදුරටත් පෙන්වා දෙති.

 


අදහස් (0)

පිත්තක අගයවත් නැතිව පැත්තකට වීසිවන ක්‍රීඩකයෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.