ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා හෙට (3 වැනිදා) කොළඹ එස්.එස්.සී. පිටියට පිවිසෙද්දී නායක දිනේෂ් චන්දිමාල්ට ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි. එනම් මේ වසරේදී පැවැති ටෙස්ට් තරග හයකින් 4 ක් පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් දිරිමත් කිරීමට කළ යුත්තේ කුමක්ද කියා තෝරා බේරා ගැනීමයි.
නිව්මෝනියා රෝගී තත්ත්වය හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයත් අහිමි කරගත් චන්දිමාල් අද තරගයේ නායකත්වය බාරගෙන සිටින්නේ තම කණ්ඩායම 1-0 ක් ලෙසින් තරගාවලියේ පසුපසින් සිටියදීය. තත්ත්වය එසේ වුවත් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවූ වැරදි හෝ අතපසුවීම් සම්බන්ධයෙන් පසුතැවෙන සිරිතක් නැත. පසුගිය සියල්ල අමතක කරදමා හිත ධෛර්යය වඩවාගෙන ඊළඟ තරගයට මුහුණ දීම වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රමවේදයයි.
රෝගී තත්ත්වයෙන් මිදීම සඳහා, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ අවසරයද ඇතිව, ඉන්හේලරයක් භාවිතා කළ චන්දිමාල් උදාවන තත්ත්වයට මුහුණ දීමට සූදානමින් සිටී.
“අපි අතින් සිදුවුණ වැරදි සියල්ලම අමතක කරලා දාලා මේ තරගයට එන්නයි අපට ඕනෑ කැරන්නේ. ඒ තරග වල හොඳ දේවල් ටික අරගෙන ඉදිරියට යනවා....ක්‍රීඩකයන් වුණත් හෙට තරගය ආරම්භ වෙනකම් බලා ඉන්නවා” යයි දිනේෂ් චන්දිමාල් අද (2 වැනිදා) දහවල් කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය.
එසේ කීවද ඉන්දියාව ලෝකයේ අංක 1 කණ්ඩායම බව චන්දිමාල් දනී. ඒ සම්බන්ධයෙන් ඉන්දීය පිලට හිමි ගෞරවය දෙන චන්දිමාල් අංක එකේ කණ්ඩායමට එරෙහිව තරග කිරීම අභියෝගයක් ලෙස බාරගනී.
මේ අතරවාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පැරණි සැලැස්මක් ගැන අලුතෙන් සිතමින් සිටියේය. ඒ තනි වේග පන්දු යවන්නකු සමගින් තරග කිරීමයි. මෙම න්‍යායේ ඵල ප්‍රයෝජන අන් කිසිවකුට වඩා හොඳින් කණ්ඩායමේ වත්මන් කළමණාකරු අසංක ගුරුසිංහ මහතා දනී.
එස්.එස්.සී. ක්‍රීඩාංගණය යනු අසංක ගුරුසිංහ මහතාගේ ක්‍රීඩා සමාජයයි. වෙන කිසිවකුට වඩා ඔහු එස්.එස්.සී තණතීරුව හොඳින්ම හඳුනයි. අසංක ගුරුසිංහ මෙම ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරග කිහිපයකදීම පන්දු යැවීම ආරම්භ කර තිබේ.
අදින් වසර 25 කට ඉහතදී, නවසීලන්ත පිලට එරෙහිවත් (දුලිප් ලියනගේ සමගින්) ඉන් පසුව එංගලන්ත පිලට එරෙහිවත් (චම්පක රාමනායක සමගින්) ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අසංක ගුරුසිංහ ආරම්භක පන්දු යවන්නා විය. මෙම තරග දෙකම ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූ අතර සුපුරුදු පිතිකරුවන්ගේ පරාදීසය වෙනුවට එදා තිබුණේ දඟ කැවෙන මන්දගාමී තණතීරු දෙකකි.
ඒ පිළිබඳ සිතමින් පසුවු ශ්‍රී ලංකා කණ්ඩායමේ අද පැවැති පුහුණුවීම් අතරතුරේදී දිමුත් කරුණාරත්නගේ පන්දු යැවීමේ හැකියාව පිළිබඳ පිරික්සමින් සිටියේය. චමින්ද වාස්ට ඒ පිළිබඳ වගකීම පැවරී තිබූ අතර දිමුත් කරුණාරත්න පන්දුවේ මැස්ම උපයෝගී කරගනිමින් පන්දු යවමින් සිටියේය.
දිනේෂ් චන්දිමාල් අද පස්වරුවේදී කී ආකාරය අනුව අද තරගයේදී මාලින්ද පුෂ්පකුමාරට මෙන්ම ධනංජය ද සිල්වාටත් අවස්ථාව ලැබීමට බොහෝ ඉඩ තිබේ. චන්දිමාල්ගේ අපේක්‍ෂාව වන්නේ තුවාල ලත් අසේල ගුණරත්නගේ ස්ථානයට ඩිල්රුවන් පෙරේරා යොදා ගනිමින් වැඩිපුර පන්දු යවන්නකු කණ්ඩායමට එක්කරගැනීමයි. රංගන හේරත් සමගින් එක්ව ක්‍රීඩා කරමින් මාලින්ද පුෂ්පකුමාරට උපක්‍රම ඉගෙනීමේ අවස්ථාව දීමද තවත් අරමුණකි.
චන්දිමාල් එසේ කීවද සම්මත ආකාරයේ වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනකු එකවර යොදාගැනීම සම්බන්ධයෙන් තේරීම් කමිටු නිලධාරීන්ට තවදුරටත් හිතන්නට යමක් ඉතිරිවනු ඇත. මක්නිසාද යත් ලක්ෂාන් සඳකැන් වමතින් දඟ පන්දු යවන්නකු වන නමුත් චයිනමන් පන්දු යවන්නකු වන බැවිනි.
“පුහුණුවීම් වලදී අපි කරන්න පුළුවන් අමාරුම දේවල් කරනවා. දඟ කැවෙන පන්දු වලට මුහුණ දෙන්න පුහුණු වෙනවා...ස්වීප් පහර වගේම රිවර්ස් ස්වීප් පහරත් ගහන්න වැඩි වැඩියෙන් පුහුණු වෙනවා” යයිද චන්දිමාල් පැවසීය. චන්දිමාල්ගේ කතාවෙන් උපක්‍රමය කුමක්ද යන්න පැහැදිළි වේ.
මේ අතර ඉන්දීය පිලට ලෝකේෂ් රාහුල් නැවත එක්වන බව විරාට් කෝලි පැවසීය. එහෙත් තණතීරුවේ ස්වභාවය මත අද තරගයට එක්වන ක්‍රීඩකයා හර්දික් පාණ්ඩ්‍යාද නැතහොත් කුල්දිප් යාදව්ද යන්න තීරණය කෙරෙනු ඇත. කුල්දිප් යාදව් චයිනමන් පන්දු යවන්නෙකි.
මෙවන් තත්ත්වයක් යටතේ කාසියේ වාසිය ඉතාමත් තීරණාත්මක වී තිබේ.
ශ්‍රී ලංකා ටෙසට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, මාලින්ද පුෂ්පකුමාර, ලක්ෂාන් සඳකැන් සහ ළහිරු තිරිමාන්න,
ඉන්දීය ටෙස්ට් සංචිතය
විරාට් කෝලි (නායක), ලෝකේෂ් රාහුල්, ෂිකාර් ධාවන්, අභිනව් මුකුන්ද්, චෙටේස්වාර් පුජාරා, අජින්ක්‍ය රහනේ, රෝහිත් ෂර්මා, රිදිමන් සහා, හර්දික් පාණ්ඩ්‍යා, රවීන්ද්‍ර ජදේජා, රවිචන්ද්‍රන් අශ්වින්, කුල්දිප් යාදව්, මොහොමඞ් සාමි, ඊෂාන්ත් ෂර්මා, බුවනේෂ්වර් කුමාර් සහ උමේෂ් යාදව්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.