Last Update  :  2024-05-10 17:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපන්දු කමිටුවේ දෙදෙනෙක් ඉල්ලා අස්වීමට යති

පාපන්දු කමිටුවේ දෙදෙනෙක් ඉල්ලා අස්වීමට යති

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසරකට අධික කාලයක් තිස්සේ අක්‍රීයව පවතින ජාතික පාපන්දු සංචිතය යළි ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ජාතික කණ්ඩායම් සම්බන්ධීකරණ කමිටුවෙන් එහි ප්‍රධානීන් දෙදෙනකු ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.  ජාතික පාපන්දු  කණඩායම්හි කටයුතු මෙහෙයවීම සඳහා පාපන්දු සම්මේලනය සාමාජිකයන් හත්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.
 
එහි සභාපතිවරයා වන මේජර් ජනරාල් අතුළ කොඩිප්පිලි හා උපසභාපති රෝහිත ප්‍රනාන්දු යන මහත්වරු  මෙලෙස තම ධුරවලින් ඉල්ලා අස්වීමට සැරසෙන්නේ ඒ සම්බන්ධයෙන් කමිටුව ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් උනන්දුවක් නොදක්වන නිසා බවද වාර්තාවේ.

2016 නොවැම්බර් මාසයේදී සිදුවූ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ මලයාසියානු තරග සංචාරයෙන් පසුව ජාතික පාපන්දු සංචිතයේ කටයුතු අත්හිටුවීමට පාපන්දු සම්මේලනය පියවර ගත්තේය. එහෙත් පසුගිය ඔක්තෝබර් 25 වැනිදා දකවා ජාතික පාපන්දු පුහුණුකරු  ඩඞ්ලි ස්ටේන්වෝල් මහතා තවත් වසරක කාලයක් එහි කටයුතු කළේය. ස්ටේන්වෝල් මහතා ජාතික පුහුණුකරු වශයෙන් කටයුතු කළේ එම කාලය තුළදී පැවරුණු නිශ්චිත රාජකාරියක් නොමැතිවය.

මේ අතර ජාතික කණ්ඩායම් බාර කමිටුව එළඹෙන වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන සාෆ් පාපන්දු තරගාවලිය ඉලක්ක කරමින් ජාතික කණඩායම සංවර්ධනය කිරීමේ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනාවලියට අනුව ජාතික පාපන්දු සංචිතය යළි කැඳවීමේදී ඒ සඳහා වයස 23න් පහළ ක්‍රීඩකයන් 15 ක්ද වයස 22 ට වැඩි හා වයස 19 න් පහළ ක්‍රීඩකයන් 10 දෙනකු බැගින්ද ඇතුළත් කෙරේ.

ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මෙතෙක් ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම්හි පුහුණුකරු ලෙස කටයුතු කර දිවයිනෙන් පිටත්ව ගිය ජපන් ජාතික සුසුකි චිකාශි මහතා යෝජනා කර තිබෙන කමිටුව ඔහුගේ සහයට තවත් ජපන් ජාතික පාපන්දු උපදේශකවරුන් දෙදෙනකු කැඳවීමටද යෝජනා කර තිබේ.

ජාතික පාපන්දු සංචිතය නැවත පිහිටුවීමේදී එම ජන් ජාතික පුහුණුකරුවන්ගේ සේවය නොමිලේ ලබාගැනීමටත් එහි ක්‍රීඩකයන්ගේ සුබසාධන කටයුතුවලට යුදහමුදාවේ දායකත්වය ලබා ගැනීමටත් කමිටුව එහිදී සිය යෝජනාවලියක් ඉදිරිපත් කර තිබූ බවද සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ජපන් ව්‍යාපාරික සමාගම් කීපයක් සමග සාකච්ඡා කර ජාතික සංචිතය සඳහා ඔවුන්ගේ අනුග්‍රහය ලබා ගැනීමද එම එක් යෝජනාවකි.

--------------------------------------------------------------------------------------------------------------------------------------------


“දැන්ම කලබල වෙන්න ඕන නෑ”
   පාපන්දු සභාපති අනුර


ජාතික පාපන්දු සංචිතය ලබන ජනවාරි මාසයේ සිට යළි පිහිටුවන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පවසයි. ජාතික සංචිතය යළි ආරම්භ කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් එල්ලවී තිබෙන චෝදනා පිළිබඳ ‘ලංකාදීප’ය කළ විමසුමකදී ඒ මහතා මෙසේද පැවසීය.

“දැන්ම කලබල වෙන්න අවශ්‍ය නෑ. අපේ ඉලක්කය ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන සාෆ් තරගාවලියයි. ඒ සඳහා සංචිතය ලබන ජනවාරියේදී ආරම්භ කරනවා. මීළඟ විධායක සභා  රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අප වැදගත්  තීරණ තීන්දු  ගන්නවා”

පාපන්දු සභාපතිවරයා එහිදී අවධාරණය කර සිටියේ ජාතික කණඩායම් සම්බන්ධීකරණ කමිටුවේ යෝජනාවලියට අවධානය යොමුකර තිබෙන බවයි.

“මේවා කරන ක්‍රමවේදයක් තිබෙනවා”

“ජාතික පුහුණුකරු පත්කිරීමේදී රටේ ක්‍රමවේදයක් තිබෙනවා. දැන් ඔය කියන ජපන් පුහුණුකරු ගැන මාධ්‍යවල විවේචනයක් තිබෙනවා. ඔහු යටතේ පසුගිය කාලයේ ශ්‍රී ලංකාව සහභාගිවූ ජාත්‍යන්තර යොවුන් තරගවලදී අපට ගෝල විශාල ගණනක් ප්‍රතිවාදීන්ගෙන් එල්ල වුණා කියලා. ඒ නිසා ඒ හැම දේ ගැනම අවධානය යොමුකරලයි අපිට තීරණයක් ගන්න වෙන්නෙ.“යයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය මාස 4 කදී ජපන් ජාතික සුසුකි චිකාශි මහතාගේ උපදේශකත්වය යටතේ  ශ්‍රී ලංකාව සහභාගි වූ අන්තර් ජාතික කනිෂ්ඨ පාපන්දු තරගාවලි තුනකදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 61 ක් රැස් කිරීමට ප්‍රතිවාදීන් සමත්ව තිබෙන අතර එහෙත් ශ්‍රී ලංකාව එහිදී රැස්කර ඇත්තේ ගෝල දෙකක් පමණි. එම ගෝල දෙකම මාලදිවයින් පිලට එරෙහිව ලබාගත් අතර එම තරගයද 2-2 ක් ලෙසින් ජය පරාජයෙන් තොරව නිමා විය.

 


අදහස් (0)

පාපන්දු කමිටුවේ දෙදෙනෙක් ඉල්ලා අස්වීමට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.