Last Update  :  2026-04-19 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නඩු පැවරීම ශ්‍රී ලංකාවේ වත්මන් නිල කාලය දීර්ඝ කිරීමට හේතුවක් නොවේ

නඩු පැවරීම ශ්‍රී ලංකාවේ වත්මන් නිල කාලය දීර්ඝ කිරීමට හේතුවක් නොවේ

editorial - 2026 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ )

අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය (2026 - 30) වැළැක්වීමේ අරමුණින් උසාවියේ නඩු පැවරීමට ගන්නා කවර උත්සහයක් වූවද එය එහි වත්මන් විධායක සභාවේ නිල කාලය දීර්ඝ කිරීමට හේතුවක් නොවන බව ආසියානු ඔලිම්පික් සභාව ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ. ආසියානු ඔලිම්පික් සභාව ඉහත ශ්‍රී ලංකාවට යොමු කර ඇති ලිපි වලට අනුව අප්‍රේල් 25 වැනිදා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්වීමට අපොහොසත් වන්නේ නම් එයින් පසුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ තහනමකට ලක්වීමේ අවදානමක් උද්ගත්වනු ඇතැයිද වාර්තාවේ.

ඒ පිළිබදව පසුගිය සෙනසුරාදා (18) විද්‍යුත් තැපෑල ඔස්සේ ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා වෙත ලිපියක් යොමු කරන ආසියානු ඔලිම්පික් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හුසේන් අල් මුසාලම් මහතා ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග නිලවරණයට ඉදිරිපත් වන පුද්ගලයන් (අපේක්ෂකයන්) වැළැක්වීමට ගන්නා උත්සහයන් සදහා ජාතික ඔලිම්පික් කමිටුව විසින් විමර්ශණ වලදී තහවුරු කර ගත් කරුණු පමණක් යොදා ගත යුතු බවට ආසියානු ඔලිම්පික් සභාව හා අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව විශ්වාස කරන බවත් අවධාරණය කර තිබේ.

එහිදී විමර්ෂණයට ලක් කරමින් සිටින හෝ අත්හිටුවීම් වලට ලක්ව සිටින ශ්‍රී ලංකාවේ නිලධාරීන්ගේගේ එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා ආසියානු ඔලිම්පික් සභාවෙන් මීට පෙර ශ්‍රී ලංකාවට ලබාදුන් උපදෙස් අනුව කටයුතු කරනු දැකීම සිය අභිලාෂය බවත් මුසාලම් මහතා සිය ලිපියෙන් පෙන්වාදී තිබේ.

මේ අතර එදිනම සභාපති අපේක්ෂක, ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතාගේ විමසුමකට ප්‍රතිචාර දක්වන මුසාලම් මහතා වසර පහක තහනමකට ලක්වූ ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතා හැරුණුකොට ජාතික ඔලිම්පික් කමිටුවේ හෝ ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ව්‍යාපාරය තුළ මේ මොහොතේ විමර්ෂණයට ලක් වෙන වෙනත් කිසිවෙකුත් නැතැයි අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඔලිම්පික් නිලවරණය අරභයා පැන නැගී තිබෙන ඉහත කාරණා සම්බන්ධයෙන් ආසියානු ඔලිම්පික් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ ඉහත ලිපි දෙකේ පිටපත් ජාත්‍යන්තර ඔලිම්පික් සහයෝගිතා ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ජේම්ස් මැක්ලියොඩ්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ජාත්‍යන්තර සබදතා අධ්‍යක්ෂ ජෙරම් පොයිවේ හා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් යන මහත්වරුන්ට යොමු කර තිබේ.

මේ අතර අප්‍රේල් 25 වැනිදා පස්වරු 4 ට සිය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග නිලවරණය (2026 -30) සදහා ඉදිරිපත් වූ නාම යෝජනා වලට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතා විභාගයේ තීන්දු ඊයේ ඊයේ (19) ප්‍රකාශයට පත් කෙරුණි.   එහිදී වඩාත්ම අවධානයක් යොමු වූ සභාපති අපේක්ෂක ජස්වර් උමාර් මහතාට එරෙහිව ඉදිරිපත්වූ විරෝධතා තුනම  නිශ්ප්‍රභා කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් නිලවරණ මෙහෙයුම් කමිටුව පියවර ගෙන තිබේ.             

සභාපති අපේක්ෂක ප්‍රීති විරාජ් පෙරේරා, ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් මහ ලේකම් රිෆ්ඩි ෆාමී හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු වන සුනිල් සෙනවීර යන මහත්වරුන් විසින් ඔහු ඔලිම්පික් නිලවරණයට ඉදිරිපත්වීමට නුසුදුස්සකු බවට චෝදනා කරමින් එම විරෝධතා ගොනු කර තිබුණි.

ඔහුගේ පාර්ශවයෙන් මහ ලේකම් ධූරයට ඉදිරිපත්ව සිටින නිෂාන්ත පියසේන මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ විරෝධතාවයක්ද ඊයේ ප්‍රතික්ෂේප විය.

අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන නිලවරණයේදී සභාපති ධූරය සදහා ශිරන්ත පීරිස්, අසංග සෙනවිරත්න හා දේවා හෙන්රි යන මහත්වරුද නාම යෝජනා භාරදී තිබේ. මහ ලේකම් ධූරයට තරග වදින  එකම අපේක්ෂකයා වන්නේ රිෆ්ඩි ෆාමි මහතාය.


අදහස් (0)

නඩු පැවරීම ශ්‍රී ලංකාවේ වත්මන් නිල කාලය දීර්ඝ කිරීමට හේතුවක් නොවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.