Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දෙවැනි වටයට තෝරා ගැනීමේ ක්‍රමයට විරෝධය

දෙවැනි වටයට තෝරා ගැනීමේ ක්‍රමයට විරෝධය

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් ක්‍රිකට් තරගාවලියේ (2016/17) පළමු කොටසේ දෙවැනි වටයට කණ්ඩායම් 8 ක් පමණක් තෝරා ගැනීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය ගෙන ඇති තීරණයට පාසල් රැසක් විරෝධය පළකර තිබේ.

මෙම තරගාවලියේ පසුගිය වසරේ දෙවැනි වටයට කණ්ඩායම් 16 ක් සුදුසුකම් ලැබුව ද මෙවර අඩක් කපා හැරීමට පාසල් ක්‍රිකට් සංගමය පියවර ගෙන තිබූ අතර එම තීරණයට එරෙහිව පාසල් රැසක් ලිඛිතව විරෝධය පළ කර ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය සම්බන්ධයෙන් පාසල් ක්‍රිකට් සංගමය සහ පාසල් නියෝජිතයන් අතර පසුගියදා සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී පාසල් සංගමය තීරණයේ වෙනසක් නොකළ බව වාර්තා වේ.

එම සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති සහ පාසල් ක්‍රිකට් උපදේශක කේ. මතිවානන් මහතා ද සහභාගි වී ඇති අතර පැරණි ක්‍රමයට කණ්ඩායම් 16 ක් සහභාගි කරවන ලෙස ඒ මහතා පවසා ඇති බව ද වාර්තා වේ.  පසුගිය වසරේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ සිට තුන් දින තරග පැවැත්වුව ද මෙවර අර්ධ අවසන් පූර්ව තරගයේ සිට දෙදින තරග පැවැත්වීමට පියවර ගෙන තිබේ.

වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ලීග් තරගාවලියට කාණ්ඩ හතරක් යටතේ පාසල් 36 ක් සහභාගි වෙයි. එහිදී සෑම පාසලක්ම දෙදින තරග අටකට ක්‍රීඩා කරයි. නව ක්‍රමය අනුව කාණ්ඩයකින් පාසල් දෙකක් පමණක් ඉදිරියට යන අතර සෙසු පාසල් 7 ට ඉවත්වීමට සිදුවේ.

පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් කපිල ජයලත් මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ තරග අඩු කරන ලෙස පාසල්වලින් කළ ඉල්ලීමකට අනුව පසුගිය අගෝස්තු මස මෙම පියවර ගත් බවයි.

“අගෝස්තු මාසයෙන් පසුව පාසල් කීපයක් මෙයට විරෝධය දක්වා ලිපි යොමු කර තිබුණා. නමුත් මෙය තරගාවලියේ නීති රීති අත්පොතේ පැහැදිළිව සඳහන් වෙනවා. ඒ නිසා පාසල් ක්‍රිකට් සංගමයේ තරගාවලි කමිටුව එම තීරණය වෙනස් කිරීමට එකඟතාවක් නෑ” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

ප්‍රධාන පාසලක නිලධාරියකු පැවසුවේ මෙවැනි විශාල තරගාවලියක කණ්ඩායම් 9 කින් දෙකක් පමණක් තෝරා ගැනීම දැඩි අසාධාරණයක් බවයි.

“පාසල් ක්‍රිකට් සංගමය අපේ පාසලට නම් නීති රීති අත්පොතක් යොමු කරලා නෑ. ඒ නිසා එහි තියෙනවාද කියලා අපි දන්නේ නෑ”

“පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් කීප දෙනෙක් මේක කරන්නේ. පසුගිය වසරේ එකම කාණ්ඩයේ පාසල් තුනක් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවා. මේක පාසල් ක්‍රිකට් දියුණු කිරීමක් නොවෙයි. තරගාවලිය ඉක්මනින් ඉවර කරලා ඇඟ බේරා ගැනීමක්” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

දෙවැනි වටයට තෝරා ගැනීමේ ක්‍රමයට විරෝධය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.