Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කැරිබියානු වි:20 තරගාවලියට මාලිංගත් යයි

කැරිබියානු වි:20 තරගාවලියට මාලිංගත් යයි

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැත්වෙන විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය සඳහා කී‍්‍රඩා කරන ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයන් වන මුත්තයියා මුරලිදරන් සහ මහේල ජයවර්ධන දෙදෙනාට ලසිත් මාලිංගද එක්ව සිටී.

මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග දෙදෙනාත් කැරිබියානු ප‍්‍රධානතම ලීග් (සී. පී. එල්.) තරගාවලියට එක්වූ බව සනාථ කරමින් එහි සංවිධායකයෝ ඊයේ (15 වැනිදා) නිවේදනයක් නිකුත් කළහ. මහේල සහ මාලිංග සමග පාකිස්තානු පිලේ හිටපු තුන් ඉරියව් කී‍්‍රඩකයකු වන අසාර් මෙහෙමුද්ද කැරිබියානු ප‍්‍රධානතම ලීග් තරගාවලියට එක්ව සිටී.

ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ එස්. එල්. පී. එල්.  තරගාවලියත් කැරීබියානු වි:20 තරගාවලියත් එකම දින වකවානු වල පැවැත්වීමට නියමිතව තිබූ හෙයින් කැරිබියානු වි:20 තරගාවලිය සඳහා කී‍්‍රඩකයන් තේරීමේදී ශී‍්‍ර ලංකාවේ මෙන්ම පාකිස්තානයේද කී‍්‍රඩකයන් වැඩිදෙනකුට අවස්ථාව අහිමි විය.

එහෙත් එස්. එල්. පී. එල්. තරගාවලිය අවලංගු වීමත් සමගම ශී‍්‍ර ලංකාවේ සහ පාකිස්තානයේ කී‍්‍රඩකයන්ට සී. පී. එල්. තරගාවලියේ දොරටු විවර වී තිබේ.

වි:20 කි‍්‍රකට් තරගවල වැඩිම ලකුණු ලාභීන් අතර 10 වැනි ස්ථානය හිමිකරගෙන සිටින මහේල ජයවර්ධන සී. පී. එල්. තරගාවලියේදී ටි‍්‍රනිඩෑඞ් සහ ටොබැගෝ රෙඞ් ස්ටීල් පිලට එක්වී සිටී. මහේල එක්වී සිටින්නේ පාදයේ ඇතිවූ ආබාධයක් නිසා තරගාවලියෙන් ඉවත් වූ දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයකු වන ඬේවි ජේකබ්ස් වෙනුවටය.

වි:20 කි‍්‍රකට් තරග වල වැඩිම කඩුලූ ලාභීන් අතර දෙවැනි ස්ථානයේ සිටින ලසිත් මාලිංග, පාකිස්තානු වි:20 නායකයා වන මොහොමඞ් හෆීස් වෙනුවට ‘ගයනා ඇමසන් වොරියර්ස්’ පිලට එක්වී සිටී. තව නොබෝ දිනකින් ආරම්භ වන පාකිස්තානු පිලේ සිම්බාබ්වේ සංචාරයට එක්වීම සඳහා හෆීස් ගයනා පිලෙන් ඉවත්ව ගියේය.

2007 ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව ලසිත් මාලිංග පන්දු 4 කදී කඩුලූ 4 ක් දවාගත්තේද ‘ගයනා ඇමසන් වොරියර්ස්’ පිලේ කී‍්‍රඩාංගණය වන ගයනාවේදීය.

පාකිස්තානු පිලේ උමාර් අක්මල්ද සිම්බාබ්වේ සංචාරයට එක්වීම නිසා බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් පිලට එක්වීමේ අවස්ථාව අසාර් මෙහෙමුද්ට හිමිවී ඇත.

”කැරීබියන් දූපත් සමුහයේදී කී‍්‍රඩා කිරීම මට හැමදාමත් මහත් ආශ්වාදයක් වුණා. එනිසා ටි‍්‍රනිඩෑඞ් සහ ටොබෑගෝ කණ්ඩායමට එක්වීමට ලැබුණු මේ කෙටි අවස්ථාව පිළිබඳව මා බලාපොරොත්තු සහගතව සිටිනවා” යයි සී. පී. එල්. තරගාවලියට කී‍්‍රඩා කිරීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් උද්දාමයට පත්ව සිටින මහේල ජයවර්ධන පැවසීය.

”අපට (ටි‍්‍රනිඩෑඞ් සහ ටොබෑගෝ කණ්ඩායමට) දක්‍ෂ යොවුන් කී‍්‍රඩකයන් පිරිසක් සිටිනවා. එනිසා මා හිතනවා තරගාවලියේ අවසන් පූර්ව තරගයටත් ඉන් ඉදිරිය දක්වාත් ඔවුන් කැඳවාගෙන යාමට මට අවස්ථාව ලැබේවි කියලා” යයි ද මහේල වැඩිදුරටත් පැවසීය.

වේ වන විට 36 හැවිරිදි වියේ පසුවන මහේල ජයවර්ධන අයි. පී. එල්. තරගාවලියේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්, කොචි ටෂ්කර්ස් සහ කිංග්ස් ඃ, පන්ජාබ් යන කණ්ඩායම් වෙනුවෙන්ද කී‍්‍රඩා කර තිබේ. ඔහු මේ දක්වා වි:20 තරග වලදී ශතක දෙකක්ද සමගින්, ලකුණු 3876 ක් ලබා ඇත. මහේල පන්දු 100 කදී ලබාගන්නා සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 130.02 කි.

”බටහිර ඉන්දීය දූපත් සමූහයේදී කි‍්‍රකට් කී‍්‍රඩා කිරීම සෑම විටම විනෝදයක්. මේ තරගාවලියේ අවසන් කොටසේදී කී‍්‍රඩා කිරිම සඳහා මා ඉතාමත් බලාපොරොත්තු සහගතව සිටිනවා” යයි ලසිත් මාලිංග පැවසීය.

”මා මේ තරගාවලිය ගැන හොඳ අවධානයෙන් සිටියා. ගයනා ඇමසන් වොරියර්ස් කණ්ඩායමට එක්වීමට මා ඉතා සතුටෙන් සිටිනවා” යයිද මාලිංග පැවසීය.

වි:20 තරග වලදී කඩුලූ 219 ක් දවාගෙන සිටින 29 හැවිරිදි මාලිංග, වි:20 අන්තර්ජාතික තරග වලදී කඩුලූ 50 ක් දවාගෙන සිටින පන්දු යවන්නන් හත් දෙනා අතර සිටින්නෙකි.


අදහස් (0)

කැරිබියානු වි:20 තරගාවලියට මාලිංගත් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.