Last Update  :  2024-05-10 23:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අනුරගේ ජයග්‍රහණයෙන් පසු රංජිත්ගේ පිල ඉවත්වෙයි

අනුරගේ ජයග්‍රහණයෙන් පසු රංජිත්ගේ පිල ඉවත්වෙයි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සැමදාම සැමට පාපන්දු’ තේමාව යටතේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති තනතුරට තරගකළ හිටපු සභාපති අනුර ද සිල්වා මහතා වැඩි ඡන්ද 25 කින් ඉදිරි සිව් වසර සඳහා එහි නව සභාපතිවරයා ලෙස නැවත තේරී පත්විය. මෙම සභාපති සටනේදී අනුර ද සිල්වා මහතා ඡන්ද 104 ක්ද, ප්‍රතිවාදී අපේක්ෂක සහ හිටපු පාපන්දු සභාපතිවරයකු වූ රංජිත් රුද්‍රිගු මහතාට ඡන්ද 79ක්ද හිමිවිය. 
 
ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (01දා) පැවැති පාපන්දු නිලවරණය දැඩි පොලිස් ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ පැවැති අතර සභාපති ධුරය සඳහා වූ තරගය තියුණු මුහුණුවරක් ඉසිලීය. 
 
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සංගමයේ විශේෂ නියෝජිතයන් දෙදෙනෙකුගේ අධීක්ෂණයෙන් පැවැති මෙම නිලවරණයේ ඡන්ද විමසීම රහස් ඡන්දයෙන් පැවැත්වීමට ඊයේ රැස්වූ පාපන්දු මහසභා නියෝජිතයන් සහ නිලවරණ කමිටුව පියවර ගෙන තිබුණි. මේ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයේදී සභාපති සහ භාණ්ඩාගාරික තනතුරු දෙක හැර අනෙක් සියලුම තනතුරු සඳහා නිතරගයෙන් පත්වීම කැපීපෙනුණි.
 
ප්‍රතිවාදී සභාපති ධුර අපේක්ෂක රංජිත් රුද්‍රිගු මහතා පරාජයට පත්වීමත් සමග ඔහුගේ පාර්ශවය නියෝජනය කරමින් නාමයෝජනා ඉදිරිපත් කොට තිබූ සියලුම අපේක්ෂකයින් ඉල්ලා අස්වීමද විශේෂත්වයකි. 
 
ඒ අනුව ඥානප්‍රගාසම් ඇන්ටනි ඬේවිඞ්, උපාලි හේවගේ, ෆාරුක් නාගුර්තම්බි සහ නියෝජ්‍ය පොලිස්පති පත්මසිරි මුණසිංහ යන මහත්වරුන් උපසභාපතිවරුන් ලෙසත්, යූ.එල්. ජස්වර් මහතා ප්‍රධාන ලේකම්වරයා ලෙසත්, ඒ. අරුලානන්ද සෝදී මහතා නියෝජ්‍ය ලේකම් (පරිපාලන) ලෙසත්, ජගත් කුමාර ද සිල්වා මහතා නියෝජ්‍ය ලේකම් (තාක්ෂණ) ලෙසත් සමන් ඉන්දික තේනුවර මහතා නියෝජ්‍ය භාණ්ඩාගාරික ලෙසත් නිතරගයෙන් තේරී පත්වූ අතර, ටිරෝන් ප්‍රනාන්දු මහතා සහ මොහොමඞ් ෆස්ලාන් මහතා අතර පැවැති භාණ්ඩාගාරික තනතුර සඳහා වූ තරගයේදී ටිරෝන් ප්‍රනාන්දු මහතා ඡන්ද 102ක් ලබමින් ජයගත්තේය. ප්‍රතිවාදී අපේක්ෂක ෆස්ලාන් මහතාට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 80කි. 
 
2017 සිට 2021 දක්වා වූ සිව් වසරක පාපන්දු පරිපාලනය යළි බාරගත් අනුර ද සිල්වා මහතා ශ්‍රී ලංකාව නියෝජනය කළ ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩකයකු මෙන්ම ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ හිටපු නායකයෙක්ද වෙයි. හෙතෙම කොටහේන ශා. බෙනඩික්ට් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. 
 
නව පාපන්දු සභාපති අනුර ද සිල්වා මහතා ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය අමතමින් තර්ජන, ගර්ජන සහ අවලාද මධ්‍යයේ තමා පාපන්දු සභාපති තරගයට අවතීර්ණය වු බවත් සියලු අභියෝග මැඩගෙන විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවූ බවත්, එය තමා ලැබූ පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් නොව, තම කණ්ඩායම ඒකරාශි වී ලැබූ ජයග්‍රහණයක් බවත් පැවැසීය. 
 
ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමේ දැවැන්ත අභියෝගයක් ඇතිබව පෙන්වාදුන් නව සභාපතිවරයා වගකීමක් සහ අභියෝගයක් ලෙස එය බාරගන්නා බවත් පැවැසීය. අප ලැබූ ජයග්‍රහණය මගින් මෙරට පාපන්දු ක්‍රීඩාව නව මාවතකට යොමුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 
 
පරාජිත අපේක්ෂක රංජිත් රුද්‍රිගු මහතා අදහස් දක්වමින් තමාගේ මූලිකත්වයෙන් පිහිටු වූ උතුරු-නැගෙනහිර පළාත් දෙකේ පාපන්දු ලීගවල ඡන්ද පවා අවසන් මොහොතේ ප්‍රතිවාදී අපේක්ෂකයාට හිමිවීම නිසා තමා පරාජය වූ බවත්, ලැබූ පරාජය පිළිගන්නා බවත්, ඊට එරෙහිව කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් පැවැසීය. තමාගේ පරාජයෙන් පසු තම පාර්ශවයේ සියලුම අපේක්ෂකයින් ඉල්ලා අස්වීමද පෙර නොවූ විරූ විශේෂ සිද්ධියක් බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය. 
 
පාපන්දු නව නිලධාරි මණ්ඩලය 
 
සභාපති - අනුර ද සිල්වා මහතා 
උපසභාපතිවරු - ඥානප්‍රගාසම් ඇන්ටනි ඩේවිඩ්, ෆාරුක් නාගුර්තම්බි, පත්මසිරි මුණසිංහ සහ උපාලි හේවගේ යන මහත්වරු. (නිතරගයෙනි)
ප්‍රධාන ලේකම් - යූ.එල්. ජස්වර් මහතා (නිතරගයෙනි)
 
නියෝජ්‍ය ලේකම්වරු - 
1. ඒ. අරුලානන්දසෝදී මහතා - පරිපාලන (නිතරගයෙනි)
2. ජගත් කුමාර ද සිල්වා මහතා - තාක්ෂණ (නිතරගයෙනි)
 
භාණ්ඩාගාරික - ජේ.එම්. ටිරෝන් ප්‍රනාන්දු මහතා 
උපභාණ්ඩාගාරික - සමන් ඉන්දික තේනුවර මහතා (නිතරගයෙනි)
 


අදහස් (0)

අනුරගේ ජයග්‍රහණයෙන් පසු රංජිත්ගේ පිල ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.