ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් පළාත් 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මධ්‍යම පළාත් කණ්ඩායම සමත් විය. බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායමට එරෙහිව සී. සී. සී. ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් මධ්‍යම පළාත් ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.
අවසන් මහ තරගයේ දෙවැනි දිනය වූ අද (1 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 208 ක් ලබා සිටියේය. එහිදී සලිඳු උෂාන් (87) සහ සම්මු අශාන් (60) බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
තරගයේ පළමු දිනය වූ ඊයේ (31 වැනිදා) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 16 ක් ලබා සිටි බස්නාහිර පළාත් උතුර කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිම සඳහා අලුතින් එක්කර ගත හැකිවූයේ ලකුණු 160 ක් පමණි. දක්ෂ පන්දුයැවීමක නිරත වූ මොහොමඞ් ශිරාෆ් ලකුණු 45 කට කඩුලු 4 ක් දවාගනිමින් බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පුරෝගාමී විය.
කාසියේ වාසිය දිනූ බස්නාහිර පළාත් උතුර කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මධ්‍යම පළාත් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 293 ක් රැස්කළ අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ නිමේෂ ගුණසිංහ (80) සහ නිවනිඳු ප්‍රනාන්දු (76) අර්ධ ශතක ලබාගත්හ. බිනුර ප්‍රනාන්දු සහ දුවිඳු තිලකරන්ත කඩුලු 4 බැගින් දවාගනිමින් බස්නාහිර පළාත් උතුර කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
මධ්‍යම පළාත් කණ්ඩායම පළමු ඉනිම - ඕවර 76 කදී සියලු දෙනා දැවී 293
(නිමේෂ ගුණසිංහ 80, නිවනිඳු ප්‍රනාන්දු 76, ළහිරු සමරකෝන් 38, ලක්ෂාන් ප්‍රනාන්දු 35, රවීන් සේයර් 32, බිනුර ප්‍රනාන්දු 39/4, දුවිඳු තිලකරන්ත 98/4)
බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම පළමු ඉනිම - ඕවර 45.2 කදී සියලු දෙනා දැවී 176
(සම්මු අශාන් 33, සහන් ආරච්චිගේ 32, චරන නානායක්කාර 32, බිනුර ප්‍රනාන්දු 24, මොහොමඞ් ශිරාෆ් 45/4, චරිත් සුදාරක 18/2)
බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම දෙවැනි ඉනිම - ඕවර 51.2 කදී කඩුලු 4 ක් දැවී 208
(සලිඳු උෂාන් 87, සම්මු අශාන් 60, පැතුම් නිස්සංක 25, වනිඳු හසරංග 42/2)
ඡායාරූපය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්රහයෙනි...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.