Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලෝක කුසලාන තරගාවලියට යති

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලෝක කුසලාන තරගාවලියට යති

රොෂාන් ගුණරත්න - 2017 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේදී මේ මස 24 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ඉනෝකා රණවීරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් පිල අද (13) පෙරවරුවේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය. ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයට නවසීලන්තයට එරෙහිව මේ මස 24 වැනිදා බි්‍රස්ටල්හිදී සහභාගි වීමට නියමිතය.


ශ්‍රී ලංකා පිල තරගාවලියට සහභාගි වීමට පෙර එංගලන්තයේදී අමතර පුහුණු තරග දෙකකට සහභාගි වීම සඳහා දින හතරකට පෙර එංගලන්තය බලා පිටත්ව යයි. අනතුරුව ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග දෙකට ඉන්දියාවට සහ එංගලන්තයට එරෙහිව සහභාගි වීමට නියමිතය.


ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පුහුණු මධ්‍යස්ථානයේදී දින පහක විශේෂ පුහුණු කඳවුරකට ද සහභාගි විය.    


ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු හේමන්ත දේවප්‍රිය මහතා තරගාවලියට පිටත්ව යෑමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ ලෝක කුසලාන තරගාවලියේදී සෑම අංශයකින්ම සාර්ථක වීම සඳහා කැපවීමෙන් සූදානම් වූ බවයි.


“ක්‍රීඩිකාවන්ට තරගාවලියට හොඳින් මුහුණ දීම සඳහා මානසික දිරිගැන්වීම, අචාරධර්ම, භාෂාව හැසිරවීම වැනි දේවල් පිළිබඳව දියුණුවක් ඇති කලා. මම හිතන්නේ තරගවලදී සාර්ථක වෙන්න කණ්ඩායම සුදානමින් ඉන්නවා” යැයි දේවප්‍රිය මහතා වැඩි දුරටත් පැවසීය.


ශ්‍රී ලංකා පිලේ නායිකා ඉනෝකා රණවීර මාධ්‍ය හමුවේදී පැවසුවේ මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශාල සහයෝගයක් දුන් බවයි.


“අපිට හොඳ පුහුණුකරුවකු සහ පහසුකම් ලැබුණා. අපේ පුහුණුකරු දේවප්‍රිය මහතා අපේ පිතිහරඹය නිවැරදි මගට ගෙන්න පසුගිය සති කීපයේ ගොඩක් මහන්සි වුණා” යැයි රණවීර වැඩි දුරටත් පැවසුවාය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන වසරකට වැඩි කාලයකට පසු නැවතත් කණ්ඩායමට එක්ව සිටින්නීය. ශල්‍යකර්මයකට මුහුණ දුන් ඇය 2016 මාර්තු මාසයේදී පැවැති විස්සයි:20 ලෝක කුෂලාන තරගාවලියෙන් පසුව කණ්ඩායමට එක් නොවූවාය.


මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ කළමණාකාරිනිය ලෙස ඉන්ද්‍රානි ආරියරත්න මහත්මිය කටයුතු කරන්නීය.


තරගාවලිය මේ මස 24 වැනිදා සිට ජූලි මස 23 වැනිදා දක්වා පැවැත්වේ.


මෙම තරගාවලියට ඕස්ටේ්‍රලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් 8 සහභාගි වෙයි.


මෙහිදී සෑම රටක්ම සියලුම කණ්ඩයම්වලට එරෙහිව තරග කරන අතර ඒ අනුව කණ්ඩායම් තරග හතකට සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායමට අතිරේක ක්‍රීඩිකාවන් පස්දෙනකු ඇතුළත් වන නමුත් ඔවුන් සූදානම් ලයිස්තුවේ රඳවා සිටින අතර කණ්ඩායම සමග එංගලන්තයට නොයනු ඇත.


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

ඉනෝකා රණවීර (නායිකා), ප්‍රසාදිනී වීරක්කොඩි, ශෂිකලා සිරිවර්ධන, චමරි අතපත්තු, ඒෂානි ලොකුසූරිය, ඩිලානි මනෝදර, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේෂිකා ප්‍රබෝදනී, නිපුනි හංසිකා, හසිනි පෙරේරා, ඕෂදී රණසිංහ, හර්ෂිතා මාධවී, අමා කාංචනා, චමරි පොල්ගම්පොළ සහ චන්දිමා ගුණරත්න


අතිරේක ක්‍රීඩිකාවෝ:

ඉනෝෂි ප්‍රනාන්දු, හංසිමා කරුණාරත්න, මධූෂිකා මෙත්තානන්ද, අනුෂ්කා සංජීවනී සහ සුගන්දිකා කුමාර


ශ්‍රී ලංකා පිලේ තරග කාලසටහන

● ජූනි 24 - ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර බි්‍රස්ටල්හිදී

● ජූනි 29 - ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර බි්‍රස්ටල්හිදී

● ජූනි 24 - ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර බි්‍රස්ටල්හිදී

● ජූලි 05 - ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඩාබිහිදී

● ජූලි 09 - ශ්‍රී ලංකාව සහ බ.ඉ.කො. අතර ඩාබිහිදී

● ජූලි 09 - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටවුන්ටන්හිදී

● ජූලි 15 - ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අතර ලෙෂ්ටර්හිදී

 

ජායාරූප: කුෂාන් පතිරාජ


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලෝක කුසලාන තරගාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.