Last Update  :  2026-04-22 19:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලිය සමකරති
බංග්ලාදේශ සංචාරය

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලිය සමකරති

editorial - 2026 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


චමරි අතපත්තු පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දැක්වූ දායකත්වය හමුවේ බංග්ලාදේශයේ රාජ්ශාහි නුවරදි අද (22 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 4 කින් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සමකර ගත්හ. ඕවර 8 කදී ලකුණු 36 කට කඩුලු 3 ක් දවාගත් චමරි අතපත්තු පන්දු 39 කින් ලබාගත් ලකුණු 40 හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තාවන්ට පහසු ජයග්‍රහණයක් කරා යාමට දොරටු විවර විය. 

ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකළ අතපත්තු, 16 වැනි ඕවරයේදී ශර්මින් සුල්තානා දවාගනිමින් දෙවැනි තරගයේදී වැඩ ඇල්ලුවාය. පන්දු 39 කින් ලකුණු 25 ක් ලබාගත් ශර්මින් සුල්තානා, තමන්ට ලැබුණු කඩුල්ල මුවා කිරීමේ තීරණය සම්බන්ධයෙන් නොසතුට පළ කළ නමුත් පසුව ඇය කරබාගෙන ක්‍රීඩාගාරයට ගියාය. ඊළඟ ඕවරයේදී ශෝභනා මෝස්තරී දවාගත් ශ්‍රී ලංකා නායිකාව, රිටු මෝනි දවාගත්තේ මිඩ් ඕෆ් ස්ථානයේ සිටි නිලක්ෂිකා ද සිල්වා විසින් විශිෂ්ට අකාරයෙන් රැකගන්නා ලද උඩපන්දුවකිනි. 

කෙසේ වෙතත් නායිකා නිගාර් සුල්තානා, කණ්ඩායමේ බර කරට ගනිමින්, පන්දු 101 කට මුහුණ දෙමින් ලකුණු 58 ක් ලබාගත්තාය. පන්දු 101 කට මුහුණ දුන් නමුත් ඇයගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 4 ක් පමණි. 41 වැනි ඕවරය දක්වාම පිටියේ සිටි නිගාර් සුල්තානාගේ මන්දගාමී පිතිහරඹය (ලකුණු ලබාගැනීමේ ප්‍රවේගය 57.42) නිසා බංග්ලාදේශ ඉනිම ද මන්දගාමී විය. 

පිතිහරඹය ආරම්භ කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනි හසිනි පෙරේරා (05) කලින්ම දැවී ගිය නමුත් සුපුරුදු ආක්‍රමණශීලී පිතිහරඹය ආරම්භ කළ අතපත්තු පන්දු 38 කින් 8 ක්ම හතරේ සීමාවට යැවූයේ ලකුණු 102.56 ක ප්‍රවේගයක් පවත්වාගෙන යමිනි. නහීදා අක්තාර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියත් අතපත්තු තත්ත්පර කිහිපයක් පිටියේ රැඳී සිටියාය. එහෙත් ආපසු ක්‍රීඩාගාරයට යන ලෙස නහීදා ඇයට ඉඟි කළාය. 

නායිකාව දැවී යාමෙන් පසුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ හර්ෂිතා සමරවික්‍රම සහ හංසිමා කරුණාරත්න දෙදෙනා, ලකුණු 166 ඉලක්කය පෙනෙන මානයට තම කණ්ඩයම කැඳවාගෙන ගියහ. පන්දු 76 කින් ලකුණු 50 ක් ලබාගත් සමරවික්‍රමගේ පිතිහරඹයට හතරේ පහර 7 ක් ඇතුළත් වී තිබිණ. 

සාර්ථක පන්දු යැවීමක නිරත වූ නහීදා අක්තාර් විසින් හර්ෂිතා සමරවික්‍රම සහ හංසිමා කරුණාරත්න යන දෙදෙනාම දවාගනිමින් කඩුලු 4 ක් සම්පූර්ණ කළ නමුත් තම කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන යාමට ඇය අසමත් වූවාය. 

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලබන සෙනසුරාදා (25 වැනිදා) රාජ්ශාහි නුවරදීම පැවැත්වේ. 

 

බංග්ලාදේශ කාන්තාවෝ - ඕවර 45.5 කදී 165 යි
(ශර්මින් සුල්තානා 25, නිගාර් සුල්තානා 58, ෂෝර්නා අක්තාර් 16, රිටූ මෝනි 17, නහීදා අක්තාර් 20, රබෙයා ඛාන් 15, මල්කි මදාරා 30/2, නිමේෂා මීපගේ 29/2, ඉනෝකා රණවීර 28/2, චමරි අතපත්තු 36/3)

ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 38.2 කදී කඩුල 6 ට 166 යි
(චමරි අතපත්තු 40, හර්ෂිතා සමරවික්‍රම 50, හංසිමා කරුණාරත්න 40, නහීදා අක්තාර් 21/4)


- 213


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලිය සමකරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.