Last Update  :  2025-10-19 21:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට ගෞරවය රැකගැනීමේ අවස්ථාවක්

ශ්‍රී ලංකාවට ගෞරවය රැකගැනීමේ අවස්ථාවක්

editorial - 2025 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන හයවැනි තරගය හෙට (20 වැනිදා) බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේ නවී-මුම්බායි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිත මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඇත්තේ අපේක්‍ෂා කිහිපයක් පමණි. 

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම බලාපොරොත්තුව විය. එහෙත් මෙතෙක් සහභාගි වූ තරග 5 කින් 3 ක් පරාජය වී තවත් තරග දෙකක් වර්ෂාවට සේදීයාම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා පිල සතුවන්නේ ප්‍රසාද ලකුණු 2 ක් පමණි. මෙම තත්ත්වය මත අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකා පිලට තිබූ සියලුම දොරටු මේ වනවිට අවහිර වී තිබේ. 

එබැවින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඉතිරිව ඇත්තේ තමන්ගේ ආත්ම ගෞරවය රැකගැනීම සඳහා කළ යුතු සටනකි. එනම් මෙවර කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී පළමු ජය ලබාගැනීමයි. 

“හෙට තරගය ගැන නම් කියන්න තියෙන්නේ මේකයි....”

“අපි බංග්ලාදේශයට එරෙහිව වඩාත් හොඳින් සූදානම් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මනාසිකව සහ උපක්‍රම අතින්. අද දිනයේ අපි ඒවා ක්‍රියාත්මක කරලා බැලුවා. ඒවා හෙට තරගයේදීත් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා” යයි ශ්‍රී ලංකා පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා මුම්බායි නුවර ඩී.වයි. පතෙල් ක්‍රීඩාංගණයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. 

සිකුරාදා තරගයේදී පන්දුවක් වැදීමෙන් තුවාල ලත් විශ්මි ගුණරත්න මේ වනවිට සුවය ලබා සිටී. පන්දුව වැදුණු ස්ථානයේ සියුම් ඉදිමීමක් තිබෙන නමුත් හෙට තරගය සඳහා එය ප්‍රශ්නයක් නොවන බව රත්නායක මහතා තහවුරු කරයි. 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ විශාලතම ප්‍රශ්නය වී ඇත්තේ ලකුණු අතරට පිවිසෙන පිතිකාරිණියන් සියලු දෙනාම එක පොදියට දැවී යාමයි. ඔවුන්ගෙන් කිසිවකු දිගු ඉනිමක් සඳහා නොයාම ශ්‍රී ලංකා පිතිහරඹය අසාර්ථක වීමේ ප්‍රධාන සාධකය වී තිබේ. මේ සම්බන්ධයෙන් රුමේෂ් රත්නායක මහතාගේ අදහස වන්නේ ශ්‍රී ලංකාවේ දේශීය තරගාවලියෙන් ඊට විසඳුමක් ලබාගත යුතු බවයි. 

“ඒක එහෙම වුණත්, අපි මේ තරගාවලියට ආවේ පිතිකාරිණියන් හැටියට හොඳින් සූදානම් වෙලා. ඒත් පිතිකාරිණියන් අතර ලකුණු 50 ක් 100 ක් ගහන්න කෙනෙක් නැතිවෙනකොට පුහුණුකරුවා වශයෙන් ඒක වේදනාවට කාරණයක්” යයි ද රත්නායක මහතා කීවේය. 

ඕස්ටේලියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් මේ වන විටත් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටිති. ඉතිරි ස්ථාන දෙකට එංගලන්තය, ඉන්දියාව සහ නවසීලන්තය තියුණු සටනක නිරතව සිටී. 

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ගෞරවය රැකගැනීමේ අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.