Last Update  :  2026-01-24 14:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඟ පන්දු යවන්නෝ ශ්‍රී ලංකාව මෙල්ල කරති
2 වැනි එක්දින තරගය

දඟ පන්දු යවන්නෝ ශ්‍රී ලංකාව මෙල්ල කරති

දමින්ද විජේසූරිය - 2026 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දඟ පන්දු යවන්නන් විසින්, සම්පූර්ණයෙන්ම සිය ආධිපත්‍යයට නතුකරන්නා ලද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තය හමුවේ ලබාගත හැකිවූයේ ලකුණු 219 කි. මෙම ලකුණු 219 ලබාගන්නා අතරේ දැවී ගිය කඩුලු 10 න් 7 ක්ම එංගලන්ත දඟ පන්දු යවන්නන් විසින් හිමිකර ගන්නා ලදි. 

පළමු එක්දින තරගයේදී පාඩම මැනවින් ඉගෙන ගත් එංගලන්තය, සිය ආරම්භක පිතිකරු සැක් ක්‍රෝලි බංකුවේ තබා විශේෂඥ දඟ පන්දු යවන්නන් සිව් දෙනකු කණ්ඩායමට කැඳවා තිබිණ. සැක් ක්‍රෝලිගේ ස්ථානය දඟ පන්දු යවන්නකු වන රෙහාන් අහමඩ්ට පවරා තිබුණේ ඔහු විශ්වාසය තැබිය හැකි ඉදිරිපෙළ පිතිකරුවකු ලෙසින් හොඳ දස්කම් පෙන්වමින් සිටින බැවිනි. රෙහාන් අහමඩ්, එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී ලීස්ටර්ෂයර් පිල වෙනුවෙන් අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරමින් ශතක 5 ක් ලබා සිටී.  

විශේෂඥ දඟ පන්දු යවන්නන් සිව් දෙනකු කණ්ඩායමේ සිටියදීත්, අවස්ථාවෝචිත දඟ පන්දු යවන්නන් වන ජෝ රූට් සහ ජේකබ් බෙතීල් දෙදෙනාටත් ඕවර 6 යැවීමේ අවසරය දුන් එංගලන්ත නායක හැරී බෲක්, නියමිත ඕවර 50 න් 41 ක්ම දඟ පන්දු යවන්නන් යොදවා යවා ගත්තේය. 

ජෝ රූට් සහ ජේකබ් බෙතීල් දෙදෙනා යොදාගැනීමෙන් එංගලන්ත නායකයා අදහස් කළේ ඉනිමේ අවසන් ඕවර 10 දී, ඉදිරිපෙළ පන්දු යවන්නන්ට ඕවර කිහිපයක් ඉතිරිකර ගැනීමයි. යම් හෙයකින් එක් අයකු හෝ දෙදෙනකු ප්‍රහාරයට ලක්වූයේ නම් පන්දු යැවීම සඳහා වෙනත් පන්දු යවන්නකුට ඕවර කිහිපයක් ඉතිරිකර ගැනීම හැරී බෲක්ගේ උපාය විය. 
ශ්‍රී ලංකා පිතිකරුවෝත් තත්ත්වය වටහාගනිමින් පන්දුවට පහර දුන්හ. 

33 වැනි ඕවරය දක්වාම තමන්ගේ කඩුලු ආරක්‍ෂා කරගනිමින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ, 35 ඕවරයෙන් පසුව ලකුණු වේගය වැඩි කිරීමට උත්සාහ කළද ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථක සම්බන්ධතාවක් ලෙසින් වාර්තා වූයේ ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 66 ක සම්බන්ධතාව පමණි. 

ශ්‍රී ලංකා පිලට බලවත්ම පහර වැදුණේ ඉතාම හොඳින් පන්දුවට පහර දෙමින් සිටි කුසල් මෙන්ඩිස් දුවද්දී දැවී යාමෙනි. ලයාම් ඩෝසන්ගේ පන්දුවකට බැක් කට් පහරක් ගැසූ මෙන්ඩිස් අනෙක් අන්තය දෙස නොබලාම තණතීරුවේ මැද හරියටම දිව ගියේය. එහෙත් ධනංජයගේ විධානයෙන් ආපසු හැරී දිව ආවද, විල් ජැක්ස්ගේ මෙන්ම ජොස් බට්ලර්ගේත් දෑත් මෙන්ඩිස්ට වඩා ඉක්මන් විය.
 
පන්දු 59 කින් පැමිණි ධනංජයගේ ලකුණු 40 ට හතරේ පහර 4 ක් ඇතුළත් වූ නමුත් චරිත් අසලංකගේ ලකුණු 45 ට ඇතුළත් වූයේ එකම හතරේ පහරකි. තණතීරුව බෙහෙවින් මන්දගාමී ස්වරූපයක් ගෙන තිබුණු අතර පන්දුව පිත්තට ඇදී ආවේ සෙමිනි. තරගය ආරම්භ වී අඩහෝරාවක් යාමටත් මත්තෙන් තණතීරුවේ තියුණු දඟ කැවීමක් පෙනෙන්නට තිබිණ. 


අදහස් (0)

දඟ පන්දු යවන්නෝ ශ්‍රී ලංකාව මෙල්ල කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.