එංගලන්තයේදී පැවැති ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අසාර්ථකත්ව හේතුවෙන් නායකත්වයෙන් ඉවත්වීමේ කිසිඳු සූදානමක් නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (14) පැවසීය.
ශ්‍රී ලංකා පිල ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි අතර ඉන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි.
එහිදී ඇන්ජලෝ මැතිව්ස් වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“නායකත්වයෙන් ඉවත් වෙන්න කොහෙත්ම හිතලා නෑ. මම ක්‍රිකට් ආයතනය හෝ කිසිම කෙනෙක් එක්ක එහෙම දෙයක් කථා කරලා නෑ. මමත් දැක්කා සමාජ මාධ්‍ය ජාලවල සහ වෙබ් අඩවිවල මේ සම්බන්ධයෙන් තියෙනවා. ඒ ගැන කියනවා නම් එහෙම තීරණයක් අරගෙන නෑ”
“අපි පාකිස්තානු තරගය පරාජය වීම පිළිබඳව රටම කණගාටුවට පත්වුණා. ඒ පරාජයේ වගකීම අපි ගන්නවා”
“නායකයා හැටියට ක්‍රීඩාංගණය මැදදී කරන දේවල් පිළිබඳව මම වගකීම ගන්නවා. කවුරු මොන විවේචන කළත් ඒවා මට වැඩක් නෑ. ඒ තීරණය ගන්න ඕන නිසයි ගත්තේය. ඒ අවස්ථාවේදී ඇතුළෙදී ගන්න ඕන තීරණය ගන්න ඕනේ. ඒක හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් වගකීම මම ගන්නවා”
“ඉන්දීය තරගයේදී අසේලට තවත් ඕවර තිබියදී ඔහුව යොදා නොගත්තේ ඒ අවස්ථාවේදී වේග පන්දු යවන්නන් යොදෙව්වොත් හොඳයි කියලා මට හිතුන නිසයි. එය සාර්ථක වුණා. ඇතැම් විට අසාර්ථක වෙන්නත් තිබුණා” යැයි මැතිව්ස් පැවසීය.
“ඉන්දියාව පරාජය කළ දවස ගොඩක් සතුටු දවසක්. ඒ නිසයි මම ටී ෂර්ට් එක පෙන්නුවේ. නැතුව කිසියම් කෙනෙකුට නොවෙයි. යැයි මැතිව්ස් ඉන්දියාවට එරෙහිව තරගය ජය ලැබීමෙන් පසුව දැක්වූ විශේෂ ඉදිරියව් පිළිබඳව විස්තර කළේය.
ඩිල්රුවන් පෙරේරා සංචිතයේ සිටියදී ධනංජය ද සිල්වා ගෙන්වා ගැනීම සහ ලක්ෂාන් සඳකැන් තරගවලට සහභාගි නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා පිලේ කළමණාකරු සහ තේරීම් කමිටු සාමාජික අසංක ගුරුසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අපිට ඒ අවස්ථාවේදී මැද පෙළ හොඳ පිතිකරුවකු අවශ්‍යතාවක් තිබුණා. ඒ නිසා තමයි ඩිල්රුවන් සිටියදී ධනංජය ගෙන්න ගත්තේය. නමුත් ඔහු ලකුණු රැස් කළේ නෑ තමයි”
“එංගලන්ත තණතීරු වේග පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය වුණා. ඒ නිසා තමයි අපේ ප්‍රධාන දඟ පන්දු යවන්නා වූ සඳකැන්ට අවස්ථාව නොලැබුණේ. අවසන් තරගයට ඔහු ක්‍රීඩා කරවීමටත් අපි ගොඩක් කථා කළා. නමුත් අවස්ථාවත් තිබුණේ නෑ. අපි දැක්කා ඉන්දියාව ඔවුන්ගේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන අෂ්වින් එළියෙ තියෙලා පළමු තරග දෙකට සහභාගි වුණා”
කළමණාකරුවන් දෙපළක් සිටියදී උපුල් තරංග මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් තහනමකට ලක්වීම පිළිබඳව ගුරුසිංහ මහතා මෙසේ පැවසීය.
“විනිසුරුවන් අවස්ථා හතකදී දැනුවත් කරලා තිබුණා ප්‍රමාදයි කියලා. අපිත් හැකි උපරිමයෙන් අවස්ථා රැසකදී පණ්වුඩ යැව්වා. නමුත් ඒ පිළිබඳව අවධානය යොමු කරලා පන්දු යන්නන්ගේ ඉලක්කය වෙනස් කිරීමේ අවධානම ගන්න අපිට අවශ්‍ය වුණේ නෑ” යැයි ගුරුසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.
මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු රංජිත් ප්‍රනාන්දු සහ පුහුණුකරු ග්රැහැම් ෆෝඞ් යන මහත්වරු දසහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.