
නැමීබියාවේ වින්ඩ්හෝක් නුවරදී අද (19 වැනිදා) පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි තරගයේදී අයර්ලන්තය ලකුණු 106 කින් පරාජය කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය. ලකුණු 268 ක ඉලක්කයක් කරා ගිය අයර්ලන්ත කණ්ඩායමට ඕවර 40.1 ක් නිමාවේදී ලබාගත හැකිවූයේ ලකුණු 161 කි.
ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් 16 ක් සහභාගි වන අතර එකකට කණ්ඩායම් 4 ක් වන ලෙසින් කාණ්ඩ 4 කින් යුතුව මූලික වටයේ තරගාවලිය පැවැත්වෙයි. අනතුරුව සෑම කාණ්ඩයකම ඉදිරියෙන් සිටින කණ්ඩායම් තුන සුපිරි හය දෙනාගේ වටයට සුදුසුකම් ලබාගනු ඇත.
පිතිකරුවන්ගෙන් ගහණ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ඉදිරිපෙළ කඩුලු තුනක් ඕවර 15 ක් ඇතුළත ඇද වැටුණු නමුත් නොසැලී තම ප්‍රතිවාදීන් මෙල්ල කරගත් නායකයාත්, කවිජ ගමගේ සහ චාමික හීනටිගලත් එක්ව අයර්ලන්තය හමුවේ හිස් ඔසවා ගත්හ. ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවෝ අයර්ලන්තයට එරෙහිව නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 5 ක් දැවී ලකුණු 267 ක් ලබාගත්හ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් සෙනසුරාදා තරගයේදී ශතක ලබාගත් දිමන්ත මහවිතාන (09) සහ විරාන් චමුදිත (06) දෙදෙනාම ඕවර 4 ක් ඇතුළත දැවී ගියහ. දුල්නිත් සිගේරාට එක්වූ නායක විමත් දින්සර, ලකුණු සංඛ්‍යාව 59 ක් දක්වා ඇදගෙන යද්දී දුල්නිත් සිගේරා දැවී ගියේ අයර්ලන්ත පන්දු යවන්නන්ට තුන්වැනි කඩුල්ලත් තිළිණ කරමිනි.
කඩුලු දැවී ගිය නමුත් ඒ වන විටත් ලකුණු 4.00 ක් ඉක්මවූ වේගයක් ශ්‍රී ලංකා යොවුන් පිල සතුව තිබිණ.
නායක විමත් දින්සරට එක්වූ කවිජ ගමගේ කලබලයකින් තොරව ඉදිරියට ගියේ අයර්ලන්ත පන්දු යවන්නන් වෙහෙසට පත්කරමිනි. සිය අර්ධ ශතකය පෙනි පෙනී කවිජ ගමගේ දැවී යන විට දකුණත් පිතිකරුවා මුහුණ දුන් පන්දු 69 න් පන්දු 6 ක්ම හතරේ සීමාවෙන් ඔබ්බට යවා තිබිණු අතර සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලතුණු 80 පසුකර තිබිණ. එහෙත් තරගයේ ග්‍රහණය අතහැර දැමීමට සූදානම් නොවූ විමත් දින්සර සුපුරුදු රිද්මයෙන් ඉදිරියට ගියේය.
නායකයා සමගින් එක්වූ චාමික හීනටිගල, පන්දු 53 කින් ලකුණු 51 ක් ලබාගත්තේ වැඩිපුර තනි ලකුණු සහ ද්විත්ව ලකුණු සිය නමට ඉදිරියෙන් සටහන් කරමිනි. පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව හරියටම ලකුණු 100 ක් වෙද්දී ශ්‍රී ලංකා යොවුන් නායකයා දැවී ගියද තවත් ඕවර 4 ක් ඉතිරිව තිබිණ. දින්සරගේ පන්දු 102 ඉනිම හතරේ පහර 6 කින් සහ හයේ පහරකින් සමන්විත විය.
ඉතිරිව තිබූ ඕවර 4 න් ලකුණු 28 ක් උදුරාගත් චාමික හීනිගල සහ ආදම් හිල්මි 50 වැනි ඕවරය නිමාවන විට ලකුණු 267 ක් පුවරුවට එක්කර තිබිණ.
ඉනිමේ අඩක් නිමාවීමටත් පෙරම ලකුණු 78 කට කඩුලු 5 ක් අහිමි කරගත් අයර්ලන්ත කණ්ඩායම එතැන් සිට මංමුළා විය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ යම් තරමක හෝ ප්‍රතිරෝධයක් දැක්වූයේ නායක ඔලිවර් රීලි (නොදැවී 31) සහ රූබන් විල්සන් (32) දෙදෙනා පමණි. සෙසු පිතිකරුවෝ පහසුවෙන් යටත් වුහ. රසිත් නිම්සර (29/3) සහ දුලින්ත් සිගේරා (19/4) ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
-213


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.