
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ගුවහටි නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 408 ක පහසු ජයක් ලැබූ දකුණු අප්‍රිකානුවෝ, දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් වූහ.
එහිදී පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද එකසේ දස්කම් දැක්වූ මාර්කෝ ජැන්සන් තරගයේ වීරයා ලෙසත්, තරගාවලිය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ සයිමන් හාමර් තරගාවලියේ වීරයා ලෙසත් සම්මාන දිනාගත්හ.
අවසන් දිනය වූ ඊයේ (26 වැනිදා) ජයග්‍රහණය සඳහා ලකුණු 549 ක ඉලක්කයක් හඹායමින් සිටි ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 140 කට සීමා කිරීමට සයිමන් හාමර් ප්රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. පළමු ඉනිමේදී කඩුලු 3 ක් දවාගත් හාමර්, දෙවැනි ඉනිමේදී කඩුලු 6 ක් බිඳහෙළමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් කේෂව් මහරාජ් කඩුලු 2 ක් දවාගත්තේය.
සිවුවැනි දිනය වූ පෙරේදා (25 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 27 ක් ලබා සිටි ඉන්දියාවට, අද දිනයේදී සිය දෙවැනි ඉනිමට අලුතින් එක්කර ගැනීමට හැකි වූයේ ලකුණු 113 ක් පමණ. හුදෙකලා පිතිහරඹයක නිරත වූ රවින්ද්‍ර ජදේජා හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 54 ක් රැස්කළද, ඉන්දීය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට සඳහා එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය.
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 489
(ඒඩ්න් මාක්රම් 38, රයන් රිකෙල්ටන් 35, ටි්රස්ටන් ස්ටබ්ස් 49, ටෙම්බා බවුමා 41, ටෝනි ඩි’ සෝර්සි 28, සෙනුරන් මුත්තුසාමි 109, කයිල් වැරේන් 45, මාර්කෝ ජැන්සන් 93, කුල්දීප් යාදව් 115/4, ජස්ප්‍රීට් බුම්රා 75/2, රවින්ද්‍ර ජදේජා 94/2, මොහොමඩ් සිරාජ් 106/2)
ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 201
(යෂස්වි ජයිස්වාල් 58, ලොකේෂ් රාහුල් 22, වොෂිංටන් සුන්දර් 48, කුල්දීප් යාදව් 19, මාර්කෝ ජැන්සන් 48/6, සයිමන් හාමර් 64/3)
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 260
(ඒඩ්න් මාක්රම් 29, රයන් රිකෙල්ටන් 35, ටි්රස්ටන් ස්ටබ්ස් 94, ටෝනි ඩි’ සෝර්සි 49, වියන් මල්ඩර් නොදැවී 35, රවින්ද්‍ර ජදේජා 62/4)
ඉන්දීය දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 140
(රවින්ද්‍ර ජදේජා 54, වොෂින්ටන් සුන්දර් 16, සයිමන් හාමර් 37/6, කේෂව් මහරාජ් 37/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.