Last Update  :  2025-08-16 21:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ටේලර් - ග්‍රැන්ඩ්හෝම් නවසීලන්තය දිනවති

ටේලර් - ග්‍රැන්ඩ්හෝම් නවසීලන්තය දිනවති

editorial - 2019 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට)

විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමේ ලෝක වාර්තාව හිමිකරගැනීමට ලසිත් මාලිංග සමත් වූවත් සැලසුම් සහගත හඹායාමක නිරත වූ නවසීලන්ත පිතිකරුවෝ පළමු විස්සයි-20 තරගය කඩුලු 5 කින් ජයගත්හ. මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති මෙම තරගයේදී අත්කරගත් ජයත් සමගින් නවසීලන්ත කණ්ඩායම තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේය.

ලකුණු 175 ක් හඹායාමේ අභියෝගයට මුහුණ දී සිටියදී, නවසීලන්ත පිලේ පළමු කඩුලු තුනම ලකුණු 39 කට බිඳ වැටිණ. එහෙත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කොලින් ඩි‘ග්‍රැන්ඞ්හෝම් සහ රොස් ටේලර් දෙදෙනා සංචාරයකන්ගේ ජයග්‍රහණයේ පදනම දැමූහ. මෙම සම්බන්ධතාව සඳහා කොලින්ගේ දායකත්වය ලකුණු 33 ක් වූ අතර ටේලර්ගේ දායකත්වය ලකුණු 39 ක් විය.

ඉනිමේ 10 වැනි ඕවරයත් 13 වැනි ඕවරයත් ඇතුළත ලකුණු 61 ක් උදුරාගත් මෙම පිතිකරුවන්  දෙදෙනාගේ සම්බන්ධතාව බිඳ දැමීමට 12 වැනි ඕවරයේදී අවස්ථාවක් ලැබුණද ඩීප් මිඞ් විකට්හි සිටි දසුන් ශානකගේ අතින් රොස් ටේලර්ගේ උඩපන්දුව බිම වැටිණ. ඊළඟ ඕවරයේදී ලකුණු 17 කින් ඉසුරු උදානට දඬුවම් විඳීමට සිදුවූයේය.

17 වැනි ඕවරය අවසන් වන විට ජයග්‍රහණය සඳහා පන්දු 18 කදී ලකුණු 31 ක් නවසීලන්ත පිලට අවශ්‍යව තිබිණ. ලසිත් මාලිංගට ඕවරයක් ඉතිරිව තිබිණ. එහෙත් ඉසුරු උදාන විසින් යවන ලද 18 වැනි ඕවරයේදී ලකුණු 13 ක් ලබාගැනීමට නවසීලන්ත පිතිකරුවන් සමත් වූ හෙයින් අවසන් ඕවර දෙකේදී අවශ්‍යව තිබුණේ ලකුණු 18 ක් පමණි. මාලිංග විසින් යවන ලද ඊළඟ ඕවරයේදී තවත් ලකුණු 15 ක් ලබාගත් ඩැරිල් මිචෙල් සහ මිචෙල් සෑන්ට්නර් දෙදෙනා අවසන් ඕවරය ආරම්භ වීමට පෙරම ජයග්‍රහණය පෙනෙන මායිමට සිය කණ්ඩායම කැඳවාගෙන පැමිණියහ.

සිය මංගල විස්සයි-20 තරගයේදී අති සාර්ථක පන්දු යැවීමක යෙදුණු වනිඳු හසරංග සිය ඕවර හතරේදී කඩුලු දෙකක් දවාගත්තාට අමතරව නවසීලන්ත පිතිකරුවන් ලකුණු 21  කට රඳවා ගත්තේය.

විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා වෙමින් පාකිස්තානයේ සහීඞ් අෆ්රීඩි සතුව තිබූ කඩුලු 97 වාර්තාව අභිබවා ගිය ලසිත් අද තරගයේදී කොලින් මුන්රෝ සහ කොලින් ඩි‘ග්‍රැන්ඞ්හෝම් දවාගනිමින් ලෝක වාර්තාව තමන් සතුකරගත් නමුත් තරගයේ ජයග්‍රහණයටද මඳ පාදා ගැනීමට මාලිංග අපොහොසත් විය.

සිය විස්සයි-20 තරග දිවියේදී හොඳම ඉනිම ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් කිසිවකු අපේක්‍ෂා නොකළ අකාරයෙන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේය. ආරම්භයේදී තරමක් තැන්පත් විලාසයෙන් ක්‍රීඩා කළේ වඩාත් ප්‍රවේගකාරී පිතිකරුවා වන කුසල් ජනිත් පෙරේරා පිටියේ සිටි බැවිනි. එහෙත් කුසල් ජනිත් පෙරේරා දැවී යාමත් සමගින් ක්‍රියාත්මක වූ මෙන්ඩිස් ක්‍රිකට් ක්‍රීඩාවේ සම්මත පහර මැනවින් යොදාගනිමින් අගනා ලකුණු රැස්කිරීමක නිරත වූයේය.

පන්දු 53 කට මුහුණ දුන් මෙන්ඩිස්ගේ ඉනිම හතරේ පහර 8 කින් සහ හයේ පහර 2 කින් සමන්විත වූ අතර ලකුණු ලබාගැනීමට නොහැකි වූයේ පන්දු 13 කදී පමණි. මෙන්ඩිස්ට විශිෂ්ට සහයෝගයක් දුන් නිරෝෂන් දික්වැල්ල තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක් එක් කිරීමට සම්මාදම් විය.

අද උදෑසන සිටම වරින් වර පැවැති වර්ෂාව හේතුවෙන් කිහිප වතාවක්ම ක්‍රීඩා පිටිය වසා දමන ලද නමුත් වරින් නර විවෘත කෙරිණ. තරගය ආරම්භ කරන විට පස්වරු 7.00 පසුවී තිබිණ.

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

ටේලර් - ග්‍රැන්ඩ්හෝම් නවසීලන්තය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.