Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් ඉක්මවා ගිය තරගයක්

ක්‍රිකට් ඉක්මවා ගිය තරගයක්

ශනුක අරවින්ද - 2017 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තරගය අවසන් වනතුරු ඇඟිලි තුඩුවලින් සිටගෙන නැරැඹිය හැකි අවස්ථාවක් නිර්මාණය කෙරෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් සටනට හෙට (18) ලන්ඩනයේ කෙනින්ටන් ඕවල් පිටියේදී පැවැත්වේ. දශක ගණනාවක් පුරා විරසක වී සිටින ඉන්දියාව සහ පාකිස්තාය අතර මෙම අවසන් මහ තරගය පැවැත්වේ.

විරාට් කෝලිගේ කණ්ඩායමේ ස්ථීරසාර බවත්, සර්ෆ්‍රාස් අහමඞ්ගේ කණ්ඩායමේ චපලත්වයත් අතර ගැටුමක් ලෙස විචාරකයෝ මෙම තරගය දකිති.

දෙරට අතර ඇති දේශපාලන විරසකය නිසාම අන්තර්ජාතික තරගාවලි අතර පමණක් එකිනෙකා හමුවන මේ ආසියාවේ සම්ප්‍රදායික පසමිතුරන්ගේ ගැටුම නැරැඹීමට දැනටමත් දෙපිලේහිම ක්‍රීඩාලෝලීහු පමණක් නොව උණුසුම් අවසන් මහා තරගයක් දකිනු රිසි සෙසු අය ද කෙනින්ටන් ඕවල් පිටියට රොද බඳිමින් සිටිති. වර්තමානයේදී දෙපිල බෙදී තරගයක නිරතව සිටියද 1940 දශකයේ අග භාගය වන තුරුත් ඉන්දියාව සහ පාකිස්තානය එකම රටකි.

කවදත් ක්‍රිකට් ක්‍රීඩාවට උන්මාදයෙන් මෙන් ඇලී ගැලී සිටින ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ට හෙට එක් අතකින් අවුරුදු දවසකි. අනිත් අතට එය එක් පාර්ශ්වයකට සතුටත්, තවත් පාර්ශ්වයකට කඳුළත් උරුමකර දෙන දවසක්ය. එවැනි සිදුවීම් දෙපිලේහිම ඉතිහාසයේ ඇති තරම් තිබේ.

වසර 1986 සාජා නුවරදී පැවැති ඕස්ට්‍රලේෂියා කුසලාන අවසන් මහා තරගයේ දී චේතන් ෂර්මාගේ අවසන් පන්දුවට නරඹන්නන් අතරට යවමින් නොතිබුණු ජයකින් කුසලානය තම පිලට ගෙනදුන් ජවෙඞ් මියැන්ඩාඞ් ඉන්දිය ක්‍රීඩාලෝලීන්ගේ පරම්පරාවක් එහෙම පිටින්ම කඳුළේ ගිල්වා දැමුවේය. එය නිමාවට පත්වූයේ වසර 2003 සෙන්චූරියන් හී ලෝක කුසලාන තරගාවලියේ දි පාකිස්තානයට එරෙහිව සචින් තෙන්ඩුල්කර් කළ වික්‍රමාන්විත පිතිප්‍රහාරයකිනි.

තරගය පැවැත්වෙන්නේ නවදිල්ලියේ, ඉස්ලාමාබාද්හිදී, කරච්චියේ හෝ කල්කටාවේද යන්න ප්‍රශ්නයක් නොවේ. ලොව කොතැනකදී වුවත් සිය කණ්ඩායම සම්ප්‍රදායික පසමිතුරන් හමුවේ පරාජයවීම දෙපිලේහිම ක්‍රීඩාලෝලීන්ට වේදනාකාරී අත්දැකීමකි. ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය දෙපිලේ ක්‍රීඩකයන් 22 දෙනකු අතර තවත් තරගයක් වූවත් එය දෙරටේ මිලියන ගණනාවක ජනතාවට නම් සෙල්ලමක් නොවන බව ඉතිහාසයේ සටහන් වී තිබේ.

අයි.සී.සී. තරගාවලියක මේ දෙපිල අවසන් මහා තරගයකට පිවිසී ඇත්තේ 2007 දී විස්සයි20 ලෝක ශූරතාවලියෙන් පසුවය. එදා ජොහැනස්බර්ග් නුවර පැවැති විස්සයි20 අවසන් මහා තරගයේ දී මහේන්ද්‍ර සිං දෝනි කුසලානය දිනාගත්තේ ෂොයිබ් මලික්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තානුවන් ලකුණු 5 කින් පරාජය කරමිනි. මේ දෙදෙනාම හෙට තරගයටත් ක්‍රීඩා කිරීම කැපී පෙනේ.

දෙපිලේ ජවසම්පන්නභාවය නිරීක්ෂණය කිරීමේදී එය ඉන්දියාවේ පිතිහරඹයත්, පාකිස්තානයේ පන්දුයැවීමත් අතර කෙරෙන සටනක් ලෙසත් විචාරකයෝ දකිති. පාකිස්තානු පිලේ ආරම්භක පිතිකරු අසාර් අලි සමග රෝහිත් ෂර්මා සංසන්දනය කිරීමේදී ඉදිරියෙන් සිටින්නේ ෂර්මාය. පිතිහරඹය අතින් අහමඞ් ශෙහ්සාඞ්ට වඩා ශිකර් ධවාන් සිටින්නේද අඩි ගණනාවක් ඉදිරියෙනි.

පාකිස්තානු පිලේ අංක 3 පිතිකරු බාබර් අසාම් තවමත් අන්තර්ජාතික පිටියේ නවකයෙකි. ඉන්දීය පිලේ අංක 3 පිතිකරු නායක විරාත් කෝලි සාධාරණ වශයෙන් ගතහොත් මේ වන විට ලොව සිටින හොඳම අංක 3 පිතිකරුවාය.

එහෙත් පන්දු යැවීම අතින් නම් පාකිස්තානු වේගපන්දු යවන්නන්ගේ බලසම්පන්නතාව අබිබවා යාමට ඉන්දියාවට බැරිය. නොසිඳෙන ජවයකින් පන්දු යවන මොහොමඞ් ආමීර්, තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභියා වී සිටින හසන් අලි, අත්දැකීම් බහුල ජුනයිඞ් ඛාන් සහ රුම්මාන් රයීස්ට ශූරයන්ගේ කුසලාන තරග ඉතිහාසය අලුතින් ලිවීමට හැකියාව තිබේ.

හෙට තරගයේදී දෙපිල අතර මූලික වටයේ තරගයේ ගෙනදුන් ප්‍රතිඵලය හැර අන් දෙයක් ක්‍රීඩාලෝලින්ට දකින්නට නොලැබෙනු ඇතැයි විරාට් කෝලි දැනටමත් කියා තිබේ.

ඉන්දීය පිල පසුගිය වතාවේදීත් දිනාගත් ශූරතාව රැක ගැනීමට මාන බලමින් සිටියද තරගයක් උඩුයටිකුරු කරන විදිහ හරි අපූරුවට ඊයේ පෙරේදා පෙන්වා දුන් සර්ෆ්‍රාස් අහමඞ් ඇතුලු පාකිස්තානුවන් සමග එය එතරම් ලෙහෙසි පහසු කරුණක් නොවනු ඇතැයි විචාරකයෝ කියති.


අදහස් (0)

ක්‍රිකට් ඉක්මවා ගිය තරගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.