
(නාමල් පතිරගේ )
ඉලක්කයට වෙඩි තැබීමේ ජාතික සංගමයේ සභාපති ධූරය හොබවද්දී වෙඩි තැබීමේ ක්‍රීඩාවට සිය පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 48 ක් වියදම් කර ඇති තමා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරයට පත්වූවහොත් අවශ්‍ය වන්නේ නම් සිය පෞද්ගලික මුදල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධනයට යෙදවීමට පවා පසුබට නොවන බව සභාපති අපේක්ෂක ශිරන්ත පීරිස් මහතා පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න රැසකට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ ශිරන්ත පීරිස් මහතා ලබන සෙනසුරාදා (25) පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී (2026- 30) සභාපති ධූරයට තරග වදියි.
එම කමිටුවේ වත්මන් උප සභාපතිවරයෙකු වන පීරිස් මහතා ශ්‍රී ලංකා ඉලක්කයට වෙඩි තැබීමේ සම්මේලනයේද වත්මන් උප සභාපතිවරයෙකි. මෙරට ප්‍රධානතම ඖෂධ නිශ්පාදන ආයතනයක හිමිකරුවා වන ඔහු කොළඹ නෙළුම් කුලුන මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂවරයා ලෙස වෘත්තියෙන් කටයුතු කරයි.
මාධ්‍ය හමුවේදී ශිරන්ත පීරිස් මහතා මෙසේද පැවැසීය.
"මගේ හිමිකාරිත්වය ඇති පෞද්ගලික ආයතනයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන හයක් ඉක්මවනවා.මම එහෙම කියන්නේ ඔලිම්පික් කමිටුවේ මුල් පුටුවට ඇවිත් හම්බ කරන කැත පුරුද්දක් හෝ අවශ්‍යතාවයක් මගෙ ළග නෑ කියන එකයි.“
“රටේ සාමාන්‍ය කතාබහට කියන්නේ ක්‍රීඩා පරිපාලනයට බොහෝ අය එන්නේ හම්බ කර ගන්න කියලයි.මම ඉලක්කයට වෙඩි තැබීමේ සම්මේලනයේ සභාපති ධූරය හොබවද්දී මගේ සල්ලි මිලියන 48 ක් ක්‍රීඩාවට වියදම් කරපු මිනිහෙක්. ඔය කියන ක්‍රීඩා සංස්කෘතියේ මම නෑ.“
“මම පොරොන්දු වෙනවා ජාතික ඔලිම්පික් කමිටුවේ මුල් පුටුවට ආවොත් අවශ්‍ය නම් මගේ පෞද්ගලික මුදලුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යොදවනවා කියලා. ඔලිම්පික් කමිටුවේ පාලනය ක්‍රීඩකයන්ට වග කියන වඩාත් විනිවිදභාවයෙන් පවත්වා ගෙන යාම මගේ අපේක්ෂාවයි.“
“ඔලිම්පික් කමිටුවේ පසු ගිය පාලන කාලයන් කීපයකදීම එවැනි විනිවිදභාවයක් අපි දැක්කේ නෑ.මම මෙවර සභාපති අපේක්ෂකත්වයට තරග කරන්නේ තනිවයි. කිසිදු පාර්ශවයක මම නෑ.ඔලිම්පික් කමිටුවේ වත්මන් මහ ලේකම් රිෆ්ඩි ෆාමි මහලේකම් ධූරයට පත් කර ගන්න මම බලාපොරොත්තු වෙනවා.“
“අද මගේ රැස්වීමට ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික සංගම් සියල්ලටම ආරාධනා කළා. ඔවුන් මෙතනට පැමිණීමේ අඩුවක් මට පෙණුනත් මට වැදගත් වෙන්නේ ඔවුන්ගේ ඡන්දය විතරයි. ඒ නිසා වඩාත් විශ්වාසයෙන් යුතුව ඉල්ලා අස්වීම් නොකර මගේ නිලවරණ සටන වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන ගොස් මම ජයග්‍රාහණය කරනවා." යයි ද ශිරන්ත පීරිස් මහතා පැවසීය.
ජාතික ඔලිම්පික් කමිටුවේ ගෙවී යන වත්මන් පාලනය පිළිබදව විමසීම් වලට පිළිතුරු දුන් ඔහු පැවැසුවේ පසුගිය සිව් වසරක නිල කාලය තුළදී එහි විධායක සභාවේ කිසිදු නිලධාරීයෙකු චෝදනා ලබා වැරදිකරුවන් නොවූ බවත් එවැනි චෝදනා ලැබූ නිලධාරීන් සිටින්නේ නම් ඒ ඊට පෙර පැවැති නිල කාලයන් වලදී පත්වූවන් වන බවත්ය.
මෙම අවස්ථාවට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, මහ ලේකම් රිෆ්ඩි ෆාමි මහතා ඇතුළු එහි විධායක සභාවේ නියෝජිතයන් පිරිසක්ද සහභාගි වූහ.

මහ ලේකම් රිෆ්ඩි ෆාමි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.