
(සැකසුම - දමින්ද විජේසූරිය)
ඕස්ට්‍රේලියාවේදී පැවැති තුන්කොන් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා 19 න් පහළ කාන්තා කණ්ඩායම එහිදී සහභාගි වූ විස්සයි-20 තරගාවලියේ තරග සියල්ලම ජයගනිමින් එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායමට මෙන්ම ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායමටත් සම්පූර්ණ සුද්දයක් දුන්නේය. ශූරතාවක් පිරිනොනැමුණ නමුත් එංගලන්ත යොවුන් කාන්තා පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරග දෙකම ජයගත් චමෝදි ප්‍රබෝධාගේ ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරග දෙකත් ජයගත්තේය.
සෙනසුරාදා (18 වැනිදා) පැවැති සිව්වැනි තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 99 කට දැවී ගියහ. එහෙත් දැඩි සටනක් දෙමින් තමන්ගේ ලකුණු 99 ආරක්‍ෂා කරගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ, එක පන්දුවක් ඉතිරිව තිබියදී ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායම ලකුණු 96 කට දවාගත්තේ ලකුණු 03 ක ජයක් ලබාගනිමිනි.
විස්සයි-20 තරගාවලියට පෙර පැවැති එක්දින තරග දෙකෙන් පළමුවැන්නේදී එංගලන්තය ලකුණු 52 කින් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕස්ට්‍රේලියානු යොවුන් පිල හමුවේ කඩුල්ලකින් පරාජය වූයේ තියුණු සටනක් දීමෙන් අනතුරුවය.
සිකුරාදා (17 වැනිදා) එංගලන්ත පිලට එරෙහිව පැවැති තරගයේදී චමෝදිගේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 35 ක ජයක් අත්කර ගත්තේය. එංගලන්ත යොවුන් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ වීනස් වීරප්පුලි, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩිකාවකි. ඇයගේ පියා වන අජන්ත වීරප්පුලි, කොළඹ කෝල්ට්ස්, එන්.සී.සී. සහ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමු පෙළ තරග සඳහාත් ක්‍රීඩාකළ පිට දඟ පන්දු යවන්නෙකි.
ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය සෙනසුරාදා නිමා විය.
එංගලන්තයට එරෙහි දෙවැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිලට ලකුණු 35 ක ජයක්
ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 104 යි
(විමෝක්ෂා බාලසූරිය 34, සංජනා කාවින්දි 26, එලිසා බි්‍රස්ටෝ 15/3, වීනස් වීරප්පුලි 06/2)
එංගලන්ත යොවුන් කාන්තාවෝ - ඕවර 16.3 කදී 69 යි
(ඇමීලියා ඔලිවර් 16, ශ්‍රීස්ත්‍රි පතෙල් 12, ලිමන්සා තිලකරත්න 12/3, අසේනි තලගුණේ 12/2, ප්‍රමුදි මෙත්සරා 11/2)
ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිලට ලකුණු 03 ක ජයක්
ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ - ඕවර 19.4 කදී 99 යි
(ලිමන්සා තිලකරත්න 35, ප්‍රමුදි මෙත්සරා 21, අයිරා ඒරි 19/3)
ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තාවෝ - ඕවර 19.5 කදී 96 යි
(ඇලිසා ඩර්මොඩි 25, චමෝදි ප්‍රබෝධා 22/3, ශශිනි ගිම්හානි 13/2, ලිමන්සා තිලකරත්න 17/2, අසේනි තලගුනේ 28/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.