සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (7 වැනිදා) තරගය නරත කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 214 ක් ලබා සිටියේය.
ඒ අනුව දකුණු අප්‍රිකාව කඩුලු 5 ක් ඇතැතිව එංගලන්තයට වඩා තවත් ලකුණු 244 ක් පසුපසින් සිටින අතර දිනය නිමා වන විට කඩුල්ලේ රැදී සිටි ටෙම්බා බවුමා නොදැවී ලකුණු 48 ක් සහ කගිසෝ රබාඩා නොදැවී ලකුණු 9 ක් ලබා සිටියේය.
මුලු ලකුණු සංඛ්‍යාව 10 ක් වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු හෙයිනෝ කූන් (1) ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ස්ටුවට් බ්‍රෝඞ් සමත් විය. එහෙත් ඉන් පසුව පිටියට පිවිසි හෂීම් අම්ලා (29) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නායක ඩීන් එල්ගා (54) දකුණු අප්‍රිකානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.
හෂීම් අම්ලා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමින් එම සම්බන්ධතාව බිඳ දැමූ මුයින් අලී, එතැන් සිට තවත් ලකුණු 12 ක් ලකුණු පුවරුවට එක්වන විට ඩීන් එල්ගාද ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූයේ ගැරී බැලන්ස්ගේ සහායද ඇතිවය.
ජේ. පී. ඩුමිනිටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ අතර ස්ටුවට් බ්‍රෝඞ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට ඔහුට ලබාගත හැකිව තිබුණේ ලකුණු 15 ක් පමණි.
මුලු ලකුණු සංඛ්‍යාව 104 ක් වන විට කඩුලු 4 ක් දැවී අසීරු අඩියකට පත්ව තිබූ දකුණු අප්‍රිකානු ඉනිම, එම තත්ත්වයෙන් ගොඩගැනීමට 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ටෙම්බා බවුමා (නොදැවී 48) සහ තියුනිස් ඩි’බෘයින් (48) සමත් වූහ.
අර්ධ ශතකයට ලකුණු 2 ක් මෙපිටින් සිටියදී ජේම්ස් ඇන්ඩර්සන් පන්දුවක් හමුවේ කඩුලු රකින් ක්‍රීඩක ජොනී බෙයාස්ට්‍රෝ අතට උඩ පන්දුවක් දෙමින් තියුනිස් ඩි’බෘයින් දැවී ගියේ අද දිනයේ අවසන් කඩුල්ල ලෙසනි.
තරගයේ පළමු දිනය වූ ඊයේ (6 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 357 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කර ගත හැකිවූයේ තවත් ලකුණු 101 ක් පමණි.
එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 458
(ගැරී බැලන්ස් 20, ජෝ රූට් 190, බෙන් ස්ටෝක්ස් 56, මුයින් අලි 87, ස්ටුවට් බ්‍රෝඞ් 57, මෝනි මෝකල් 115/4, වර්නන් පිලැන්ඩර් 67/3, කගිසෝ රබාඩා 123/3)
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 214
(ඩීන් එල්ගා 54, හෂීම් අම්ලා 29, ටෙම්බා බවුමා නොදැවී 48, තියුනිස් ඩි’බෘයින් 48, ස්ටුවට් බ්‍රොඞ් 27/2, මුයින් අලී 35/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.