Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇපයට අත්සන් කළේ මල්ලවපොර ක්‍රීඩකයෝ

ඇපයට අත්සන් කළේ මල්ලවපොර ක්‍රීඩකයෝ

editorial - 2021 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නෝර්වේ රාජ්‍යෙය් ඔස්ලෝ නුවරදී පැවැති ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායමේ කළමනාකරු ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතා එරටදී අතුරුදන්වීම සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය ඊයේ (12) විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම තරගාවලියට සහභාගි වූ සංචාරක ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුළුව පුහුණුකරුගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා පැවසීය.

ඔස්ලෝ නුවරට ගිය ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායමේ සියළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා නිලධාරින්ට රුපියල් ලක්‍ෂ 10ක් බැගින් වූ ඇපයක් සඳහා අත්සන් තබන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය නියම කර තිබුණි. ඒ අනුව ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතාගේ ඇපයට අත්සන් තැබූ ඇපකරුවන් දෙදෙනාගෙන් එම මුදල් අයකර ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.

කෙසේවුවත් වාර්තා වන පරිදි ඔහුගේ ඇපයට අත්සන් තබා ඇත්තේද ඔහු සමග ලෝක ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකුය.  මෙම සිදුවීමෙන් පසුව ලබන දෙසැම්බරයේදී දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය මල්ලවපොර ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගිවීම සම්බන්ධයෙන් නැවත සිතා බැලීමට  සිදුවන බව සරත් හේවාවිතාරණ මහතා පවසයි.

ඒ අතර මින් ඉදිරියට විදෙස් තරග සංචාර වලදී ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම්වල පරිපාලන තනතුරු ආරක්‍ෂක හමුදාවල සේවය කරන්නන්ට පමණක් ලබාදීමටද මල්ලවපොර සම්මේලනය තීරණය කර තිබේ. එසේ වුවත් එම තීරණයට මල්ලවපොර සම්මේලනයේ විධායක සභාවේ කොටසක් විරෝධය පළ කර ඇතැයිද වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය හා ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ යන මහත්වරුන් කළ පැමිණිලි වලට අනුව ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකය මෙම විමර්ශනය ආරම්භ කර තිබේ. ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතා ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ උප සභාපතිවරයෙකි. ඔහු එහි හිටපු උප ලේකම්වරයාද වේ.

ඉන්ද්‍රවංශ මහතා ඉකුත් ඔක්තෝබර් 5 වැනිදා ඔස්ලෝ නුවර පිහිටි නෝර්වේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයට ප්‍රදානය කළ ක්‍රීඩා භාණ්ඩ තොගයක් බාර ගැනීම සඳහා රැඳී සිටි හෝටලයෙන් පිටත්ව ගොස් තිබේ. එහෙත් එතැන් සිට ඔහු ආ ගිය අතක් නැත.

මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා පැවසුවේ මේ වනවිටත් ඔහුට මල්ලවපොර ක්‍රීඩාවේ සියලු ක්‍රියාකාරකම්වල නිරතවීමේ තහනමක් ජීවිතාන්තය දක්වා පැනවීමට මල්ලවපොර සම්මේලනය තීරණය කළ බවයි.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයන් පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි විය.  සජිත් ප්‍රනාන්දු මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.

තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් කිලෝග්‍රෑම් 74 බර පංතියේ (පිරිමි) ඉසව්වෙන් ලක්මාල් විජේසූරිය 21 වැනි ස්ථානයට පත්වීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පළවූ තරගාවලියේ ඉහළම දක්‍ෂතාව විය.


අදහස් (0)

ඇපයට අත්සන් කළේ මල්ලවපොර ක්‍රීඩකයෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.