Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 word cup 2022 ලෝක අනු ශූරයන්ට එරෙහිව ආසියානු අනු ශූරයෝ සටනට
විස්සයි-20 ලෝක කුසලාන

ලෝක අනු ශූරයන්ට එරෙහිව ආසියානු අනු ශූරයෝ සටනට

editorial - 2022 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

සුපිරි 12 දෙනාගේ වටය අවසානයේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගත් නවසීලන්තය සහ ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වූ පාකිස්තානය අතර පැවැත්වෙන මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හෙට (9 වැනිදා) ඕස්ට්‍රේලියාවේ​ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය. 

නවසීලන්ත සුපිරි 12 දෙනාගේ වටයේදී ජයග්‍රහණ 3 ක් සහ එක් පරාජයක් ලබමින් අවසන් පූර්ව වටයට පිවිසි අතර පාකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ සුපිරි 12 දෙනාගේ වටයේදී ජයග්‍රහණ 3 ක් සහ පරාජයන් 2 ක් ලබමිනි. එහිදී නවසීලන්තය සහභාගි වූ එක් තරගයක් වැස්සට සේදී ගියේය. 

පාකිස්තානය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින 6 වැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර අවසන් පූර්ව වටයට පිවිසි අවස්ථාව 5 න් එක් අවස්ථාවකදී ශූරතාවද, තවත් අවස්ථාවකදී අනු ශූරතාවද දිනාගැනීමට ඔවුන් සමත්ව තිබේ. ශ්‍රී ලංකාව පරාජය කරමින් 2009 වසරේදී ශූරතාවට හිමිකම් කී පාකිස්තානුවන්, 2007 වසරේදී අනු ශූරතාවට හිමිකම් කීවේ ඉන්දියාව හමුවේ පරාජයට පත්වීම හේතුවෙනි. 

නවසීලන්තය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසි සිවුවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අවස්ථා 3 න් එක් අවස්ථාවක අනු ශූරතාව හිමිකර ගැනීමට ඔවුහු සමත් වූහ. එහිදී (2021) ඕස්ටේ්‍රලියාව හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් නවසීලන්තයට අනු ශූරාතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. 

විස්සයි-20 ජාත්‍යන්තර තරග 28 කදී මෙම කණ්ඩායම් දෙක එකිනෙකාට එරෙහිව තරගවැදී ඇති අතර ඉන් තරග 17 කදී නවසීලන්තය පරාජය කිරීමට පාකිස්තානය සමත්ව තිබේ. පාකිස්තානය පරාජය කිරීමට නවසීලන්තය සමත්ව ඇත්තේ තරග 11 කදී පමණි. 

මෙම කණ්ඩායම් දෙක අවසන් වරට එකිනො හමුවී ඇත්තේ දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත වූ විස්සයි-20 තරගාවලියේදී වන අතර මෙම වසරේ (2022) ඔක්තෝබර් මාසයේ ක්‍රස්ට්චර්ච්හිදී පැවැති එම තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට සමත්ව ඇත්තේද පාකිස්තානයයි. 

ඒ අනුව පැරණි වාර්තා දෙස බලන කළ මෙම තරගයට පෙර පාකිස්තානය නවසීලන්තයට වඩා තරමක් ඉදිරියෙන් සිටින බව පෙනී යයි. කෙසේ වුවත් මෙම තරගාවලිය තුළ දැක්වූ දස්කම් දෙස බලන විට පිතිහරඹය, පන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ තුනෙන්ම පාකිස්තානයට වඩා නවසීලන්තය බොහෝ ඉදිරියෙන් සිටියි. 

සුපිරි 12 දෙනාගේ වටයේ තරවලදී නවසීලන්තය පරාජයට පත්වූයේ එංගලන්තය හමුවේ පමණක් වුවත්, ඉන්දියාව මෙන්ම සිම්බාබ්වේ කණ්ඩායම හමුවේද පාකිස්තානය පරාජයට පත්වීම ඊට හේතුව ලෙස දැක්විය හැකිය. එම පරාජයන් සඳහා පාකිස්තානයේ දුර්වල පන්දු රැකීම බහුල වශයෙන්ම බලපෑ බවද කිව යුතුය. 

නවසීලන්ත සංචිතය 
කේන් විලියම්සන් (නායක), ෆින් ඇලන්, ටේ‍රන්ට් බෝල්ට්, මයිකල් බ්‍රාස්වෙල්, මාර් චැප්මන්, ඩෙවෝන් කොන්වේ, ලොකී ෆර්ගසන්, මාටින් ගප්ටිල්, ඇඩම් මිල්න්, ඩර්ලි මිචෙල්, ජේම්ස් නීෂම්, ග්ලේන් පිලිප්ස්, මිචෙල් සෑන්ට්නර්, ඉෂ් සෝධි සහ ටිම් සවුති 

පාකිස්තාන සංචිතය
බාබර් අසාම් (නායක), ශදාබ් ඛාන්, අසීෆ් අලී, හයිඩර් අලී, හාරිස් රවුෆ්, ඉෆ්තිකර අහමඩ්, කුෂ්දිල් ෂා, මොහොමඩ් හස්නයින්, මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් වසීම්, නසීම් ෂා, ශහීන් අෆ්රිඩි, ශාන් මසූද්, ෆකර් සමාන් සහ මොහොමඩ් හාරිස්


අදහස් (0)

ලෝක අනු ශූරයන්ට එරෙහිව ආසියානු අනු ශූරයෝ සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.