Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 word cup 2022 ධනුෂ්ක හෙට සිඩ්නි අධිකරණයට

ධනුෂ්ක හෙට සිඩ්නි අධිකරණයට

editorial - 2022 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හෙට (7 වැනිදා) සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති තරගය නිමා වී පැය කිහිපයකට පසුවය.

පසුගිය සතියේ සිඩ්නි නුවර නැගෙනහිර ප්‍රදේශයේදී සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (6 වැනිදා) අලුයම 1.00 ට පමණ සසෙක්ස් වීදියේ පිහිටි හෝටලකදී ධනුෂ්ක අත්අඩංගුවට ගත් බව සිඩ්නි පොලිසිය කියයි.

රෝස් බේ ප්‍රදේශයේ නිවසකදී 29 හැවිරිදි කාන්තාවක් අතවරයකට ලක්ව ඇති බවට වාර්තා වීමත් සමග ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රාජ්‍ය අපරාධ විධානයේ ලිංගික අපරාධ අංශයේ සහ නැගෙනහිර පොලිස් බල ප්‍රදේශයේ රහස් පරීක්ෂකයන් එකාබද්ධ විමර්ශනයක් ආරම්භ කර ඇත.

නොවැම්බර් මස 2 වැනිදා සිදුවූ බව කියන සිද්ධියකින් පසුව කාන්තාවගේ අනුමැතියකින් තොරව ලිංගික බලපෑම් කිරීමට අදාලව ධනුෂ්කට එරෙහිව චෝදනා ගොනුකර තිබේ. එම චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ධනුෂ්කට ඇප ලබා දීම පවා අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ළමා අපචාර සහ ලිංගික අපරාධ අංශයේ රහස් පරීක්ෂිකා ජේන් ඩොහර්ටි මහත්මිය පවසා ඇත්තේ ධනුෂ්ක සහ මෙම කාන්තාව අමුත්තන් හඳුනාගැනීම සඳහා වන දුරකථන යෙදවුමක් ඔස්සේ හඳුනාගෙන ඇති බවය.

ඉකුත් බදාදා (2 වැනිදා) මොවුන් දෙදෙනා හමුවීමට පෙර වීඩියෝ දුරකථන ඇමතුම්ද ඇතුළුව විවිධ ආකාරයේ දුරකථන යෙදවුම් ඔස්සේ අදහස් හුවමාරු කරගෙන ඇති බවද එහිදී රහස් පරීක්ෂකවරිය වැඩි දුරටත් පවසා ඇත.

රහස් පරීක්ෂකවරිය පවසා ඇති පරිදි ධනුෂ්ක, පෙර සැලසුම් කරන ලද සුහද හමුවක් සඳහා නිවසෙන් පිටත ස්ථානයකදී අදාල කාන්තාව මුණගැසී ඇති අතර ඉන් අනතුරුව ඇයව ඇරලවීම සඳහා ඇගේ නිවස වෙත ගොස් ඇත. එහිදී මෙම ලිංගික අතවර සිදුවී ඇතැයි රහස් පරීක්ෂකවරිය සඳහන් කර තිබේ.  

තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් යළි දිවයින බළා පිටත්ව ඇති අතර සිදුවීමට අදාලව ධනුෂ්කට ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ සහාය ලබාගත හැකි බවද රහස් පරීක්ෂකවරිය එහිදි ප්‍රකාශ කර ඇත.

අධිකරණයේ ක්‍රියාදාමයන් සමීපව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් සභාව සමග සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා, වරදකරු වුවහොත් ධනුෂ්කට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියි.

මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී නැමීබියාවට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයේදී මුහුණදුන් පළමු පන්දුවේදීම දැවී ගිය ධනුෂ්කට, අබාධ තත්ත්වයක් හේතුවෙන් සෙසු තරගවලට සහභාගි වීමේ අවස්ථාව අහිමිවිය. එසේ වුවත් ඔහු සංචිතයෙන් ඉවත් නොකර දිගින් දිගටම කණ්ඩායම සමග රඳවා ගැනීමට කණ්ඩායමේ කලමණාකාරීත්වය කටයුතු කළේය.


අදහස් (1)

ධනුෂ්ක හෙට සිඩ්නි අධිකරණයට
  • pakeer Monday, 07 November 2022 12:34 AM

    මෙයාව හිරේ යවන්න අනිත් අයටත් පාඩමක් හිටින්න..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.