Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ශා. ජෝෂප් ජනාධිපති කුසලාන දිනයි

ශා. ජෝෂප් ජනාධිපති කුසලාන දිනයි

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම එක්ව සංවිධානය කළ අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මරදාන ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩකයෝ ඊයේ (24) සමත් වූහ. ඉසිපතන විදුහලට අනු ශූරතාව හිමිවිය.

‘ජනාධිපති කුසලාන’ පාසල් රග්බි ඉතිහාසයේ ශාන්ත ජෝශප් විදුහල ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වේ.  

කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී ඊයේ රාත්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති අවසන් මහ තරගයේදී ශාන්ත ජෝශප් විදුහල් පිල ලකුණු 19-13 කින් ඉසිපතන විදුහල පරාජය කිරීමට සමත් විය. ශාන්ත ජෝශප් විදුහල් ජයග්‍රහණයේ නියමුවා වූ ෆ්ලයිහාෆ් ක්‍රීඩක චතුර සෙනෙවිරත්න 32 වැනි සහ 37 වැනි මිනිත්තුවලදී සාර්ථක කළ දඬුවම් පහර දෙකෙන් ලකුණු 19-8 ක් බවට පත්වීමෙන් ඉසිපතන විදුහල වෙතින් ජයග්‍රහණය ඈත්විය. චතුර සෙනෙවිරත්න, ශාන්ත ජෝශප් විදුහල රැස්කළ ලකුණු 19 න් ලකුණු 14 ක් රැස්කිරීම කැපී පෙනුණි.

ඉසිපතන විදුහල අවසන් මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සාර්ථක කරමින් අවසන් ලකුණු සටහන 19-13 ක් බවට පත්කළේය.

තරිඳු ද අල්විස් දෙවැනි අර්ධයේ 23 වැනි මිනිත්තුවේදී දකුණු පස කොඩි කණුව අසළින් ගෝල සීමාවේ පතිත කළ උත්සාහක දිනුම ශාන්ත ජෝශප් විදුහල් ජයග්‍රහණයේ තීරණාත්මක අවස්ථාවක් බවට පත්විය. එම උත්සාහක දිනුමත් සමඟ ලකුණු පුවරුව 13-8 ක් බවට පත්විය.

ඉසිතපන විදුහලට දෙවැනි අර්ධයේ 8 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහර චමෝද් ප්‍රනාන්දු ගෝල කණු අතරට යොමු කිරීමෙන් ලකුණු 8-8 ක් ලෙස නැවතත් සම වීමෙන් ක්‍රීඩාංගණයට රැස්වසිටි 6000 කට අධික ප්‍රේක්‍ෂකයන්ගේ හදගැස්ම වැඩි වූහ.

චතුර සෙනෙවිරත්න පළමු අර්ධයේ 39 වැනි මිනිත්තුවේදී මීටර 50 ක් පමණ දුර සිට විශිෂ්ට ලෙස සාර්ථක කළ දඬුවම් පහර සමගින් ලකුණු 8-5 ක් ලෙස ශාන්ත ජෝශප් විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 3 ක් ඉදිරියෙන් සිටියේය.

ඉසිපතන විදුහලේ ඩෙවින් ගුණරත්න 16 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් ලකුණු පුවරුව 5-5 ක් ලෙස සමවිය.

ඉසිපතව විදුහලේ ප්‍රබලතම ක්‍රීඩකයකු වන ෆුල්බැක් ක්‍රීඩක චමෝද් ප්‍රනාන්දුට කහ කාඞ් පතකින් අවවාද කර පිටියෙන් ඉවත් කිරීමෙන් ඔහු මිනිත්තු 10 ක් ක්‍රීඩා නොකිරීම එම විදුහලට දැඩි පාඩුවක් බවට පත්විය. චමෝද්, ඉසිපතන විදුහල් පිලේ ගෝල ප්‍රවර්ථකයා වන අතර ඔහු ඉවත්ව සිටි කාලය තුළ ලැබුණු දඬුවම් පහර අවස්ථාවක් ද මග හැරී ගියේය.  

ශාන්ත ජොශප් විදුහලේ අංක 8 ක්‍රීඩක ගිහාන් පෙරේරා ද 34 වැනි මිනිත්තුවේදී කහ කාඞ් පතින් අවවාද ලබා පිටියෙන් ඉවත්වූ අතර ඒ අනුව දෙපිල 34 මිනිත්තුවේ සිට මිනිත්තු 5 ක් ක්‍රීඩකයන් 14 දෙනාගෙන් ක්‍රීඩා කළ ආකාරය දැකගත හැකිවිය.   

විනිසුරු අර්ෂාඞ් කාදර් මහතාගේ පළමු නළා හඩින් මිනිත්තු හතරකට පසු චතුර සෙනෙවිරත්න උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව 5-0 ක් ලෙස ක්‍රියාත්මක කළේය.

ලකුණු තත්ත්වය 8-8 ක් ලෙස සමව තිබියදී ඉසිපතන විදුහලේ හරිත් බණ්ඩාර ගෝල සීමාවේ පන්දුව පතිත කළ ද එහිදී ඔහු පන්දුව ලබාදුන් ක්‍රීඩකයාට ඉදිරියෙන් සිටියදී පන්දුව ලබාගත් බව පවසමින් විනිසුරු එය උත්සාහක දිනුමක් ලෙස සටහන් නොළේය.

එම සිද්ධිය පිළිබඳව ඉසිපතන විදුහල් ප්‍රේක්‍ෂකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර එහිදී ඔවුහු පැවසුවේ විනිසුරු එහිදී රූපවාහිනී විනිසුරුගේ සහය ලබාගත යුතුව තිබූ බවයි.

මෙවර පාසල් රග්බි තරගවලට විශාල විදමක් දරා රූපවාහිනී විනිසුරුගේ සේවය ලබා දුන්න ද විනිසුරුවන් එහි ප්‍රයෝජනය නොගත් අවස්ථා රැසක් දැකගත හැකිවිය.

 


අදහස් (0)

ශා. ජෝෂප් ජනාධිපති කුසලාන දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.