Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner රග්බි උප සංස්කෘතියක් නිර්මාණය කළ ‘බ‍්‍රැඞ්බි පළිහ’ තරගාවලිය

රග්බි උප සංස්කෘතියක් නිර්මාණය කළ ‘බ‍්‍රැඞ්බි පළිහ’ තරගාවලිය

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම පාසල් දෙකක් වන කොළඹ රාජකීය සහ මහනුවර ත‍්‍රිත්ව යන විදුහල්වල රග්බි ක‍්‍රීඩකයන්ගේ සිහිනයක් තිබේ. ඒ ජාතික කණ්ඩායම නියෝජනය කිරීම නම් නොව ‘බ‍්‍රැඞ්බි පළිහ’ රග්බි තරගයට සහභාගි වීමය. එලෙසම රාජකීය සහ ත‍්‍රිත්ව විදුහල්වල අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනෙක් ‘බ‍්‍රැඞ්බි පළිහ’ රග්බි තරගයේ එක අදියරක් හෝ නැරඹීම සඳහා වසර ආරම්භයේදීම දිනය වෙන්කිරීමට අමතක නොකරති.

ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් රග්බි තරගයක් වන රාජකීය -සහ ත‍්‍රිත්ව විදුහල් අතර 70 වැනි ‘බ‍්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගයේ පළමු අදියර මේ මස 10 වැනිදා රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ රග්බි ක‍්‍රීඩාව ආරම්භ කළ දෙවැනි පාසල වන ත‍්‍රිත්ව විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර පළමු රග්බි තරගය 1920 වසරේ ජූලි මස 31 වැනිදා පැවැත්විණි. 1920 සිට එම තරගය වාර්ෂික තරගයක් ලෙස පැවැති අතර වසර 21 ක් අඛණ්ඩව ත‍්‍රිත්ව විදුහල ජය ලැබීය. රාජකීය විදුහල 1941 වසරේ පළමු ජය වාර්තා කළේය.

රාජකීය විදුහලේ හිටපු විදුහල්පතිවරයකු වන ඊ. එල්. බ‍්‍රැඞ්බි මහතා 1945 වසරේ මෙම තරගය අදියර දෙකකින් සමන්විත තරගයක් ලෙස පැවැත්වීමට යෝජනා කළ අතර එම යෝජනාවට එවකට ත‍්‍රිත්ව විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ සී. ඊ. සිමිත‍්‍රිආරච්චි මහතාගේ ද අනුමැතිය ලැබිණ.

මෙම තරගය අදියර දෙකකින් මහනුවරදී සහ කොළඹදී පැවැත්වීමටත් තරග දෙකේ ලකුණු එකතුවෙන් ශූරතා පිරිනැමීමටත් එකඟ විය. දෙවැනි අදියර අවසන් වූ වහාම ශූරතා පළිහ ජය ලැබූ විදුහල් පිලේ නායකයාට පිරිනමන අතර ඊළඟ වසරේ තරගය දක්වා පළිහ එම පාසලේ තබා ගැනීමේ අවස්ථාව හිමිවේ.

මහනුවර පාරම්පරික රිදී කර්මාන්තයට අනුව නිර්මාණය කළ ‘බ‍්‍රැඞ්බි පළිහ’ රාජකීය විදුහලේ හිටපු විදුහල්පති ඊ. එල්. බ‍්‍රැඞ්බි මහතා 1945 වසරේ ශ්‍රී ලංකාවෙන් පිටව යන අවස්ථාවේදී සිය වියදමින් තනවා ප‍්‍රදානය කළ බව ‘බ‍්‍රැඞ්බි පළිහ’ රග්බි ඉතිහාසයේ සදහන් වේ.  

‘බ‍්‍රැඞ්බි පළිහ’ රග්බි තරගය සමගින් මෙම පාසල් දෙකට ආවේනික වූ සංස්කෘතියක් නිර්මාණය වී තිබීම නිසා එම පාසල් දෙකේ වර්තමාන සිසුන්ගේ සහ ආදි සිසුන්ගේ වාර්ෂික සැණකෙළියක් බවට මෙම තරගය පත්ව තිබේ.  

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පරිපාලන මට්ටමේ උසස් නිලතල දරන නිලධාරීන් වැඩි පිරිසක් මෙම පාසල් දෙකේ ආදි සිසුන් වීම නිසා ප‍්‍රධානතම ආයතන රැුසක් මෙම තරගයට දායකත්වය සපයයි. 1950 වසරේ සිට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මහනුවර පැවැත්වෙන අදියර තරගය නැරඹීම සඳහා දෙවිදුහල්වල සිසුන්ට සහ ආදි සිසුන්ට අවස්ථාව සළසමින් ‘බ‍්‍රැඞ්බි එක්ස්ප‍්‍රස්’ නමින් විශේෂ දුම්රියක් ද ක‍්‍රියාත්මක කළේය. ආරක්‍ෂක හේතූන් මත එම දුම්රිය 1980 වසරේ සිට අත්හිටුවීය.

රාජකීය විදුහල් ආදි ශිෂ්‍ය 2007 කණ්ඩායම පසු මෑතකදී ‘බ‍්‍රැඞ්බි එක්ස්ප‍්‍රස්’ නමින් පෞද්ගලික දුම්රියක් වෙන්කරගත් අතර නමුත් එය සාම්ප‍්‍රධායික ‘බ‍්‍රැඞ්බි එක්ස්ප‍්‍රස්’ දුම්රිය නොවූ අතර සාමාන්‍ය නගරාන්තර දුම්රියකි. රාජකීය විදුහල් සංගමය මෙවර පළමු වරට සංවිධානය කරන ‘බ‍්‍රැඞ්බි ෆියෙස්ටා’ සැණකෙළියට සහභාගි වීම සඳහා ද විශේෂ දුම්රිය සේවයක් සූදානම් කර ඇති බව සංවිධාකයෝ පවසති.

රාජකීය විදුහල් සංගමය 1977 වසරේ සිට මේ දක්වා ‘බ‍්‍රැඞ්බි පළහ’ තරගය ස`දහා පළ කරන විශේෂ සමරු කළාපය බොහෝ දෙනකුගේ අවධානය දිනා තිබේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ සිට උසස් පරිපාලන නිලධාරීන්, වෛද්‍යවරු, නීතිඥයන් පාසල් අවධියේදී ‘බ‍්‍රැඞ්බි පළිහ’ තරගවලට සහභාගි වී ඇති බව ඉතිහාසය සාක්‍ෂි දරයි.

රාජකීය විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාද ‘බ‍්‍රැඞ්බි පළිහ’ රග්බි ඉතිහාසයේ විශේෂ ක‍්‍රීඩකයකි. ජේ. ආර්. ජයවර්ධන මහතා පාසල් සමයේදී ක‍්‍රීඩා කීපයකින් දස්කම් දැක්වූ දක්‍ෂ ශිෂ්‍යයෙකි.

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ක‍්‍රීඩා පරිපාලන නිලධාරියකු වන කොළඹ රාජකීය විදුහල් ආදි ශිෂ්‍ය, විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර මහතාද ‘බ‍්‍රැඞ්බි පළිහ’ රග්බි ඉතිහාසයේ දිදුළන ක‍්‍රීඩකයෙකි. ගුණසේකර මහතා ශ්‍රී ලංකා ජාතික රග්බි පිලද නියෝජනය කළ දක්‍ෂ රග්බි ක‍්‍රීඩකයෙකි.

දෙවිදුහල් අතර මෙම තරගය ‘බ‍්‍රැඞ්බි පළිහ’ ලෙස නම් කිරීමෙන් පසුව 1945 වසරේ සිට මේ දක්වා පැවැති තරග 69 දී ත‍්‍රිත්ව විදුහල තරග 38 ක් ද, රාජකීය විදුහල තරග 30 ක් ද ජය ලබා ඇති අතර 1992 වසරේ තරග සම තත්ත්වයෙන් අවසන් වී තිබේ.

රාජකීය විදුහල 2002 වසරේ ලකුණු 83-0 කින් ලැබූ ජය මෙතෙක් ‘බ‍්‍රැඞ්බි පළිහ’ රග්බි ඉතිහාසයේ ලැබූ විශාලතම ජයග‍්‍රහණය වේ. ත‍්‍රිත්ව විදුහල 1952 වසරේ සිට 1957 වසර දක්වා අඛණ්ඩව වසර 6 ක් ජය ලබා තිබේ.

තරගයේ දෙවැනි අදියර මේ මස 24 වැනිදා මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.


අදහස් (0)

රග්බි උප සංස්කෘතියක් නිර්මාණය කළ ‘බ‍්‍රැඞ්බි පළිහ’ තරගාවලිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.