Last Update  :  2025-05-06 14:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර ක්‍රීඩකයෝ සවිය පෙන්වති

මහනුවර ක්‍රීඩකයෝ සවිය පෙන්වති

ශනුක අරවින්ද - 2017 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දේශීය රග්බි පිටියේ විශිෂ්ටතම කණ්ඩායම තමන් බව තවත් වතාවක් ඔප්පු කර පෙන්වූ මහනුවර ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන කුසලානය 18 වැනි වරටත් අද (11) අයිති කරගත්තේය.

ලීග් තරගාවලිය නිමාවීමට සතියක් තිබියදීම ශූරතාව මහනුවර පිලට සින්න වී තිබූ අතර රග්බි කිරුළ රැගෙන යාමට අද (සෙනසුරාදා) කොළඹට පැමිණි මහනුවර ක්‍රීඩකයන් තුරඟ තරග පිටියේ පැවැති මෙවර තරගාවලියේ සිය අවසන් තරගයෙන් සී.එච්.ඇන්ඞ් එෆ්.සී පිල ලකුණු 59-3 කින් පරාජයට පත් කිරීමෙන් පසුව කුසලානය අතට ගත්හ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක ඩයලොග් ආසියාටා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහත්වරු අද තරගයෙන් පසුව මහනුවර පිලේ නායක රොෂාන් වීරරත්නට ශූරතාව පිරිනැමූහ.

එය මහනුවර ක්‍රීඩා සමාජය පිට පිට අයිති කරගත් 3 වැනි ලීග් කුසලානය වූ අතර ඊට පෙර ඔවුන් 2001 සිට 2011 දක්වා දශකයකටත් වැඩි කාලයක් ලීග් රග්බි පිටියේ අණසක පතුරුවාලමින් කිරුළ අයිතිකරගෙන සිටියහ.

මෙවර තරගාවලියේ දී මහනුවර පිලේ පළමු ප්‍රතිවාදියා වූ සී.එච්. පිලම අවසන් තරගයේදිත් ඔවුන්ගේ ප්‍රතිවාදියා වීම කැපී පෙනෙන සිදුවීමකි.

මහනුවර පළාතේ රග්බි ක්‍රීඩාලෝලීන් රැසක්ම අද සිය කණ්ඩායම ලීග් කිරුළ අතට ගන්නා අයුරු දැකබලා ගැනීමට තුරඟ තරග පිටියට පැමිණ සිටියහ.

අද තරගය සඳහා කවුරුත් සිතූ පරිදිම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විවේක ගැන්වූ මහනුවර කණ්ඩායම සංචිතයේ සෙසු ක්‍රීඩකයන්ට ඔවුන්ගේ දස්කම් මුවහත් කරගැනීමට අවස්ථාවක් ලබාදී තිබිණි.

තරගයේ 15 වැනි මිනිත්තුවේ දී ශෙහාන් පතිරණ තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ අර්ෂද් ජමාල්ඩීන් මහනුවර පිල ලකුණු 7-0 කින් ඉදිරියට ගෙන ගිය අතර මොහොතකට පසුව ලවංග පෙරේරා තැබූ උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 12 දක්වා ඉහළ දමාගත්තේය.

අනතුරුව දනූෂ දයාන් තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ ජමාල්ඩීන් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 19 දක්වා ඉදිරියට ඇදගෙන ගිය අතර 26 වැනි මිනිත්තුවේ දී සී.එච්.පිලේ ෂම්රි බූරා දඬුවම් පහරක් එල්ල කරමින් සිය කණ්ඩායමට ලකුණු 3 ක් ගෙන දුන්නේය.

පළමු භාගය නිමාවීමට පෙර ශ්‍රීනාත් සූරියබණ්ඩාර තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ ජමාල්ඩීන් මහනුවර පිල ලකුණු 26-3 කින් ඉදිරියට ගෙන ගියේය.

දෙවැනි භාගයේ ආරම්භයේදීම උත්සාහක දිනුමක් තැබූ ජමාල්ඩීන් එය ගෝලයක් බවට පත් කළ අතර ඊට මොහොතකට පසුව අනුරුද්ධ විල්ලර තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කරමින් දවසේ කාර්යබහුල ක්‍රීඩකයා බවට පත්වූ ජමාල්ඩීන් මහනුවර පිල ලකුණු 40-3 කින් ඉදිරියට තල්ලු කළේය. ඉන් නොනැවතුණු හෙතෙම තවත් මොහොතකින් සිය දෙවැනි උත්සාහක දිනුම තැබීමට සමත්වූ අතර එය ගෝලයක් බවට පත් කරමින් සිය කණ්ඩායම ලකුණු 47-3 කින් ඉහළට ඔසවා තැබුවේය.

තවත් මිනිත්තු කිහිපයකින් පසුව සිය දෙවැනි උත්සාහක දිනුම තැබීමට ශ්‍රීනාත් සූරියබණ්ඩාර සමත් වූ අතර තරගය නිමාවීමට මිනිත්තු 5 කට පෙර ලවංග පෙරේරා ද  සිය දෙවැනි උත්සාහක දිනුම තබමින් මහනුවර පිලේ අවසන් තරගයේ දැවැන්ත ජයග්‍රහණයට කදිම දායකත්වයක් ලබා දුන්නේය.

මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව ගෝල් 7 කින් සහ උත්සාහක දිනුම් 2 කින් වර්ණවත් වූ අතර සී.එච්.පිලට දඬුවම් පහරකට වඩා ඉදිරියට යාමට හැකිවූයේ නැත.


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ සවිය පෙන්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.