Last Update  :  2025-05-06 14:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර - හැව්ලොක්ස් කරට කර සටනකට

මහනුවර - හැව්ලොක්ස් කරට කර සටනකට

ශනුක අරවින්ද - 2017 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දැන් එළැඹී ඇත්තේ දවසින් දවස උණුසුම් වන අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ අවසන් භාගයයි. ලීග් තරගාවලිය නිමාවීමට ඉතිරිව ඇත්තේ තවත් සති අන්ත 2ක් පමණි. සෑම කණ්ඩායමකටම මේ තරගාවලියේ තවත් තරග 2 ක් ඉතිරිව ඇතත් අද (3) ඇරැඹෙන 13 වැනි තරග වටය වඩාත් තීරණාත්මක එකකි.

මෙවර තරගාවලියේ ආරම්භයේදී පෙරමුණ ගත් පසුගිය වසරේ ලීග් ශූරයඅන් වන මහනුවර ක්‍රීඩා සමාජය ගුවන් හමුදා පිල සමග පැවැති සිය දෙවැනි තරගයෙන් ලකුණු 24-21ක විස්මිත පරාජයක් අත්විඳීමෙන් පසුව නැවත පෙරමුණ ගැනීමට සමත්වූයේ පසුගිය සතියේදීය. ගුවන් හමුදා පිල සිය නිත්තවෙල බලකොටුවට ගෙන්වා ගත් මහනුවර ක්‍රීඩකයෝ හිතේ හැටියට එදා පරාජයේ වාඩුව ගත්තේ ලකුණු 73-13ක ජයක් ලබමිනි. මහනුවර පිල නැවත තරගාවලියේ පෙරමුණ ගැනිමට ඉවහල් වූයේ එම ජයග්‍රහණයයි. මේ සමගම එතෙක් පෙරමුණේ සිටි හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය දෙවැනි තැනට පල්ලම් බැස්සේය.

අදින් ඇරැඹෙන 13 වැනි සති අන්තයේ තරග අතරින් කාගෙත් අවධානය දැන් යොමුවී ඇත්තේ ලබන ඉරිදා (5) හැව්ලොක්ස් පිටියේ දී පැවැත්වීමට නියමිත මහනුවර සහ හැව්ලොක්ස් අතර තරගය කෙරෙහිය. දෙපිලේහිම ක්‍රීඩකයන් සිය දස්කම් මුවහත් කරන්නට පටන් ගෙන ඇත්තේ එය මෙවර ලීග් ශූරයන් තීරණය කෙරෙන තීරණාත්මක තරගයක් බවට පත්වි ඇති බැවිනි.

පසුගිය වසරේ දිනූ ලීග් ශූරතාව රැක ගැනීම මහනුවර පිලේ ඒකායන බලාපොරොත්තුව වී ඇති අතර 2012 න් පසුව ලීග් කිරුළට අත නොතැබූ හැව්ලොක්ස් කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ මහනුවර පිල සිය බලකොටුවේදී බිමට ඇද දමා කිරුළ අත්පත් කරගැනීමය.

වසර 2012 දී හැව්ලොක්ස් පිල ලීග් ශූරතාව දිනාගත්තේ වසර 30 කට පසුවය. පසුගිය වසරේ ලීග් ශූරතාවත් සමග මහනුවරට එය අයිතිවූ වාර ගණන 17 කි. ඉතිහාස දත්ත වාර්තා එසේ වූවත් ඉරිදා පැවැත්වෙන තරගය නම් දෙපිලටම විවෘත තරගයක් බව විචාරකයෝ කියති.

මහනුවර පිල සහ හැව්ලොක්ස් පිල අතර තරගය වඩාත් අවධානයට ලක්වන තරගය බවට පත් කරමින් හෙට ඇරැඹෙන 13 වැනි සතිඅන්තයේ තරගවලදී සෙසු කණ්ඩායම් අතර ඇත්තේ ද කරට කර සටනකි.

ප්‍රසාද ලකුණු සටහනේ දැනට තුන්වැනි තැන සිටින නාවික හමුදා පිල අද පස්වරුවේ ලොන්ඩන් පෙදෙසට යන්නේ සිවුවැනි තැන රැඳී සිටින සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායම සමග තරග වැදීමටය. කිසිදු ජයග්‍රහණයක් නොමැතිව ලකුණු සටහනේ අඩියට වැටී සිටින සී.එච්. ඇන්ඞ් එෆ්.සී. පිල සිය පරාජයේ ඉඩෝරයට දිය පොදක් සොයා ලකුණු සටහනේ 6 වැනි තැන සිටින ගුවන් හමුදා පිල සමග තරග වැදීමට අද සන්ධ්‍යාවේදීම රත්මලානට යාමට නියමිතය.

මේ සති අන්තයේ අවසන් තරගය 5 දා පැවැත්වෙන්නේ ලකුණු සටහනේ පස්වැනි තැන සිටින යුද හමුදා පිල සහ 7 වැනි ස්ථානයේ පසුවන පොලිස් කණ්ඩායම අතරය. එම තරගය පැවැත්වෙන්නේ දියගමදීය.

 

 


අදහස් (0)

මහනුවර - හැව්ලොක්ස් කරට කර සටනකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.