
(දමින්ද විජේසූරිය)
මේ වන විට පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන්, ප්‍රධානතම තුන්දින තරගාවලි දෙකක් සහ වයස 15 න් පහළ අන්තර් පළාත් තරගාවලියේ අවසන් මහ තරගයත් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ප්‍රීමා යොවුන් ලීගයේ අවසන් මහ තරගයත් හෙට (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබුණ නමුත් එම තරගය පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ඇත.
දිවයිනේ ප්‍රධානතම අන්තර් සමාජ පළමු පෙළ තරගාවලිය වන ‘ඒ’ තලයේ තුන්දින තරගාවලිය හෙට (28 වැනිදා) ආරම්භ කිරීමට නියමිතව තිබිණ. එහෙත් වර්ෂාව හේතුවෙන් ‘ඒ’ තලයේ තරගාවලියේ ආරම්භක දිනය දෙසැම්බර් 5 වැනිදා ලෙසින් නම්කර තිබේ.
‘ඒ’ තලයේ තරගාවලියට සහභාගි වන ක්‍රීඩා සමාජ සංඛ්‍යාව 14 කි. මෙම ක්‍රීඩා සමාජ එකකට 7 ක් වන පරිදි කණ්ඩ දෙකකට බෙදා තරගාවලියේ මූලික වටය පැවැත්වෙයි.
අන්තර් සමාජ ‘බී්’ තලයේ තුන්දින තරගාවලියද හෙට (28 වැනිදා) ආරම්භ කිරීමට නියමිතව තිබිණ. එහෙත් වර්ෂාව හේතුවෙන් මෙම තරගාවලියේ ආරම්භක දිනයත් දෙසැම්බර් 5 වැනිදා ලෙසින් වෙනස්කර තිබේ.
‘බී’ තලයේ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියට සහභාගි වන ක්‍රීඩා සමාජ සංඛ්‍යාව 12 කි. එය සම්පූර්ණයෙන්ම ලීග් තරගාවලියකි.
ශ්‍රී ලංකා පාපන්දු ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශූරයන්ගේ කුසලාන ලීග් තරගාවලියේ මේ සති අන්තයේ (සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා) තරග 6 ක් පැවැත්වීමට නියමිතව තිබුණද එම තරග සියල්ලම කල්දැමීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන මන්චි කුසලාන ජාතික ශූරතාවලියේ මධ්‍යම පළාත් තරග මේ මස 29 සහ 30 දිනවලදී පේරාදෙණියේදී පැවැත්වීමට නියමිතව තිබිණ. එම තරග ද කල්දමා ඇති බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා රග්බි ආයතනයද මේ සති අන්තයේදී පැවැත්වීමට නියමිත තරග කල්දමනවාද නැද්ද යන්න පිළිබඳ සාකච්ඡා කරමින් සිටී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.