Last Update  :  2026-01-14 21:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝලි යළිත් අංක 1 ට

කෝලි යළිත් අංක 1 ට

editorial - 2026 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක්දින පිතිකරුවන් අතර පෙරමුණට පැමිණීමට ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි සමත්ව ඇත. මෙවර ඔහු එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත ලැයිස්තුවේ පෙරමුණට පැමිණ ඇත්තේ වසර 4 හමාරකට පමණ (2021 ජූලි මාසයෙන්) පසුව වීම කැපී පෙනෙන සිදුවීමකි. 

ශ්‍රේණිගත ලකුණු 785 කට හිමිකම් කියමින් කෝලි එම ලැයිස්තුවේ පෙරමුණට පැමිණ ඇති අතර ඊට පසුගිය කාල වකවානුව තුළ ඔහු දිගින් දිගටම දැක්වූ දස්කම් හේතු සාධක වී තිබේ. කෝලිගේ ඉහළ නැගීමත් සමග එතෙක් එක්දින පිතිකරු ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි රෝහිත් ශර්මාට පියවර 2 ක් පසුබැසීමට සිදුව ඇත.

මේ වන විට 37 වැනි වියේ පසුවන කෝලි, නවසීලන්තයට එරෙහිව ඉකුත් 11 වැනිදා පැවැති තරගයේදී පන්දු 91 කින් ලකුණු 93 ක් රැස්කිරීමට සමත් වූ අතර එහිදී ඔහුට ඉතා අවාසනාවන්ත ලෙස සිය 54 වැනි එක්දින ශතකය මඟහැරී ගියේ ලකුණු 7 කිනි. මේ දක්වා එක්දින තරග 309 කදී ලකුණු 14,650 කට ලබාගෙන ඇති ඔහු, එක්දින ශතක 53 කට සහ අර්ධ ශතක 77 කට හිමිකම් කියයි. 

ඉකුත් වසරේ (2025) වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැති එක්දින තරගාවලියේ පළමු තරග දෙකේදී ලකුණු නොළබා දැවී යෑමෙන් අනතුරුව තෙවැනි තරගයේ සිට යළිත් සිය සුපුරුදු දස්කම් අතරට පැමිණි කෝලි, එතැන් පටන් මේ දක්වා තරග පිට පිට තරග 5 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 3 ක් රැස්කිරීමට සමත්ව සිටියි. එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීම සටහන් වන්නේ නොදැවී 74, 135, 102, නොදැවී 65 සහ 93 ක් ලෙසිනි. 

මේ දක්වා අවස්ථා 11 කදී එක්දින පිතිකරුවන් අතර පෙරමුණට පැමිණ ඇති කෝලි, පළමු වරට එම ස්ථානය අත්පත් කරගෙන ඇත්තේ 2013 වසරේදීය. එමෙන්ම සිය ක්‍රීඩා දිවිය තුළ දින 825 ක් පුරා එක්දින පිතිරුවන් අතර පෙරමුණ රැකගැනීමටද ඔහු සමත්ව ඇති අතර එය ඉන්දීය පිතිකරුවකු එම ස්ථානයේ රැදී සිටි වැඩිම කාලය ලෙසද සටහන් වේ. වැඩිම කාලයක් එම ස්ථානය රැකගෙන සිටි පිතිකරුවන් අතර කෝලිට 10 වැනි ස්ථානය හිමිව තිබේ.
 
-036 

 


අදහස් (0)

කෝලි යළිත් අංක 1 ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.