Last Update  :  2025-05-05 10:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International හර්ෂිතා - කවීෂා ශ්‍රී ලංකා කාන්තා පිල දිනවති

හර්ෂිතා - කවීෂා ශ්‍රී ලංකා කාන්තා පිල දිනවති

editorial - 2025 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට..)

ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ල‍ෙස දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව අද (2 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 5 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 236 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 46.3 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. දක්ෂ පිතිහරඹයක නිරත වූ හර්ෂිතා සමරවික්‍රම (77) සහ කවීෂා දිල්හාරි (61) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 152 කදී ලකුණු 128 ක අගනා සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ.  

ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ හර්ෂිතා සහ කවීෂා පන්දුවට පහරදීමේ අවස්ථාව එකිනෙකා අතර හුවමාරු කරගෙන වැඩි වශයෙන් කෙටි ලකුණු ලබාගනිමින් පැය දෙකකට ආසන්න කාලයක් දකුණු අප්‍රිකානු පන්දු රකින්නියන් වෙහෙසට පත් කළහ. ඔවුන් දෙදෙනා එක්ව ලබාගත් ලකුණු 128 න් ලකුණු 70 ක්ම කඩුලු අතර දිවයමින් ලබාගත් ලකුණු විය.

එහිදී පන්දු 93 කට මුහුණදුන් හර්ෂිතා හතරේ පහර 8 කින් සිය සිවුවැනි එක්දින අර්ධ ශතකය සැරසූ අතර පන්දු 75 කදී වාර්තා වූ කවීෂාගේ තෙවැනි එක්දින අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය. නොන්කුලුලෙකෝ ම්ලාබාගේ පන්දුවක් හමුවේ ච්ලෝයි ට්‍රයන් අතට උඩ පන්දුවක් දෙමින් කවීෂා දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

මුලු ලකුණු සංඛ්‍යාව 9 ක්ව තිබියදී නායිකා චමරි අතපත්තු දැවී ගියද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් විෂ්මි ගුණරත්න (29) සමග එක්ව පන්දු 76 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ආරම්භක පිතිකාරිණී හසිනි පෙරේරා සමත් වූවාය. පන්දු 55 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 42 ක් ලබා අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී හසිනි දැවී ගියේ සූන් ලූස්ගේ පන්දුවක් හමුවේ ලෝරා ලෝරා වුල්වාඩ්ට් අතට පහසු උඩ පන්දුවක් දෙමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 235 ක් රැස්කළේය. දකුණු අප්‍රිකානු ඉනිමේ නැංගුරම බවට පත්වූ ඇනරීන් ඩර්කසන් පන්දු 60 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 61 ක් රැස්කරමින් සිය කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගි‍යාය.

ච්ලෝයි ට්‍රයන් (35) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඩර්කසන්, ඉන් නොනැවතී නැඩින් ඩි’ ක්ලර්ක් (17) සමග එක්ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 44 කදී ලකුණු 32 ක්ද එක් කරමින් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ඔසවා තැබුවාය.

මුලු ලකුණු සංඛ්‍යාව 27 ක් වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මල්කි මදාරා සහ සුගන්දිකා කුමාරි සමත් වූූහ. ඉන් අනතුරුව පිටියට පිවිසි කරබූ මේසෝටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ‍ප්‍රවීනතම පන්දු යවන්නිය වන ඉනෝකා රණවීර ඉඩක් ලබා නොදුන්නාය.

කෙසේ වුවත් තෙවැනි පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි ලාරා ගෝඩාල් ඕවර 23 ක් පුරා කඩුල්ල ආරක්ෂා කරගනිමින් හතරේ පහර 5 ක් සමග ලකුණු 46 ක් රැස්කළේ දෙව්මි විහන්ගාගේ පන්දුවක් හමුවේ ඇය ලබාදුන් පහසු උඩ පන්දුවක් මිඩ් ඕෆ් කලාපයේ පන්දු රකිමින් සිටි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අතින් ගිළිහී යෑමේ වාසියද ලබාගනිමිනි.

සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ දෙව්මි විහන්ගා, තමාගේ පළමු එක්දින කඩුල්ල ලෙස ලාරා දවාගත්තේ ඇය සීමා ඉරෙන් ඉදිරියට පැන මිඩ් ඕන් කළාපයට ඉහළින් එල්ල කළ පහරින් ඇදී ගිය පන්දුව ලෝන් ඕන් කළාපයේ සිට රැකගැනීමට නිලක්ෂි ද සිල්වා සමත්වීමත් සමගිනි. එතැන් පටන් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුවට තවත් ලකුණු 7 ක් එක් වෙද්දී සූන් ලූස්ගේ (31) කඩුල්ලද බිඳ දැමීමට විහන්ගා සමත් වූවාය.

ලකුණු 35 ක් ලබා සිටි ච්ලෝයි ට්‍රයන්ද සීමා ඉරෙන් ඉදිරියට පැන පන්දු යවන්නියගේ හිසට ඉහළින් හයේ පහරක් එල්ල කිරීමට යෑමේදී, ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි නිලක්ෂි ද සිල්වා ඇගේ වම්පසට දිවවිත් හත‍රේ සීමාව ඔන්න මෙන්න තිබියදී ගුවනට පැන පන්දුව ඩැහැගත්තේ විහන්ගාගේ කඩුලු මල්ලට තවත් කඩුල්ලක් බැර කරමිනි.

ඉනිමේ 47 වැනි සහ 49 වැනි ඕවර යැවූ මල්කි මදාරා පිළිවෙලින් එම ඕවර දෙක ලකුණු 4 කට සහ 2 කට සිමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේ දකුණු අප්‍රිකානු පසු පෙළ පිතිකාරිණියන්ට හිස ‍එසවීමටවත් අවස්ථාවක් ‍ලබා‍‍ නොදෙමිනි. එම කඩුලු 3 ත් සමග මෙම තරගයේදී ඇය දවාගත් කඩුලු සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළ ගියේය.

 

දකුණු අප්‍රිකානු කාන්තා පිල
ලෝරා වුල්වාඩ්ට් - ප.මදාරා                         10
ටැස්මින් බ්‍රිට්ස් - ප.කුමාරි                            14
ලාරා ගෝඩාල් - ඇ.නිලක්ෂි ප.විහන්ගා         46
කරබූ මේසෝ - ඇ.චමරි ප.රණවීර                  9
සූන් ලූස් - ප.විහන්ගා                                  31
ච්ලෝයි ට්‍රයන් - ඇ.නිලක්ෂි ප.විහන්ගා          35
ඇනරීන් ඩර්කසන් - නොදැවී                       61
නැඩින් ඩි’ ක්ලර්ක් - ප.මදාරා                      17
මසබට ක්ලාසා - ඇ.අනුෂ්කා ප.මදාරා             4
නොන්කුලුලෙකෝ ම්ලාබා - ඇ. සහ ප. මදාරා 0
අයබොන්ගා ඛාකා - නොදැවී                         2
අතිරේක                                                     6
එකතුව ඕවර 50 කදී කඩුලු 9 කට               235

කඩුලු වැටීම :
1-17(ටැස්මින්), 2-27(ලෝරා), 3-59(මේසෝ), 4-113(ලාරා), 
5-120(ලූස්), 6-182(ච්ලෝයි), 7-214(නැඩින්), 8-228(ක්ලාසා), 
9-228(ම්ලාබා)

පන්දු යැවීම :
මල්කි මදාරා 10-0-50-4, සුගන්දිකා කුමාරි 10-0-49-1, දෙව්මි විහන්ගා 10-1-41-3, 
ඉනෝකා රණවීර 6-1-33-1, චමරි අතපත්තු 10-0-36-0, කවීෂා දිල්හාරි 4-0-26-0


ශ්‍රී ලංකා කාන්තා පිල
හසිනි පෙරේරා - ඇ.ලෝරා ප.ලූස්                42
චමරි අතපත්තු - ඇ.මේසෝ ප.ක්ලාසා             6
විෂ්මි ගුණරත්න - ක.මු. කළා ප.ම්ලාබා         29
හර්ෂිතා සමරවික්‍රම - ඇ.ම්ලාබා ප.ක්ලර්ක්     77
කවීෂා දිල්හාරි - ඇ. ට්‍රයන් ප.ම්ලාබා             61
නිලක්ෂි ද සිල්වා - නොදැවී                         11
අනුෂ්කා සංජීවනී - නොදැවී                           1
අතිරේක                                                   10
එකතුව ඕවර 46.3 කදී කඩුලු 5 කට            237

පන්දුවට පහර නොදුන් ක්‍රීඩිකාවෝ :
දෙව්මි විහන්ගා, මල්කි මදාරා, සුගන්දිකා කුමාරි සහ 
ඉනෝකා රණවීර

කඩුලු වැටීම :
1-09(චමරි), 2-78(විෂ්මි), 3-90(හසිනි), 4-218(කවීෂා), 5-232(හර්ෂිතා)

පන්දු යැවීම :
මසබට ක්ලාසා 4-0-24-1, නැඩින් ඩි’ ක්ලර්ක් 8.3-1-32-1, 
අය‍බොන්ගා ඛාකා 5-0-40-0, සූන් ලූස් 8-0-34-1, 
නොන්කුලුලෙකෝ ම්ලාබා 10-1-44-2,  
ච්ලෝයි ට්‍රයන් 9-0-45-0, ඇනරීන් ඩර්කසන් 2-0-13-0

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව - හර්ෂිතා සමරවික්‍රම 

 

 


අදහස් (0)

හර්ෂිතා - කවීෂා ශ්‍රී ලංකා කාන්තා පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.