Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International සංචාරකයන් පරාජය කළ නොහැකි තැනක
යොවුන් එක්දින තරගාවලිය

සංචාරකයන් පරාජය කළ නොහැකි තැනක

editorial - 2025 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය) 

කොළඹ සී.සී.සී. පිටියේදී අද (3 වැනිදා) පැවැති සිව්වැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 146 කින් පරාජය කළ බංග්ලාදේශ යෞවනයෝ, තරග 6 කින් සමන්විත තරගාවලියේ පරාජය කළ නොහැකි ස්ථානයකට පිවිසියහ. තරගාවලියේ මෙතෙකත් පැවැති තරග 4 න් තුනකදීම ජයග්‍රහණ අත්පත් කරගත් බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට 3-1 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී. 

අද තරගයේදී ලකුණු 337 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඕවර 38.4 ක් නිමාවේදී ලකුණු 190 කට දැවී ගියේය.  

බංග්ලාදේශ යොවුන් පිලේ ආරම්භක පිතිකරු සවාඩ් අබ්රාර්ගේ ශතකයත්, රිසාන් හොසේන් (82) ප්‍රමුඛ මැද පෙළ පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹයත් නිසා සවිමත් වූ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 8 කට ලකුණු 336 ක් ලබාගත්තේය. 

රිසාන් හොසේන්, මොහොමඩ් අබ්දුල්ලා (32), දෙබසිස් දේබා (19) සහ සමිඋන් බසීර් (23) එක්ව පන්දු 123 කින් ලකුණු 156 ක් කණ්ඩායමට එකතු කළහ. පසුව පැමිණි අංක 9 පිතිකරු අල් ෆහාඩ් හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමගින් පන්දු 5 කින් ලකුණු 19 ක් ලබාගත්තේ තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 336 දක්වා ඉහළ දමමිනි. 

සිය ඕවර 10 න් ලකුණු 96 ක් ලබාගැනීමට අවසර දුන් රසිත් නිම්සර දරුණු ප්‍රහාරයකට ලක්විය. ඔහුගේ අවසන් ඕවර දෙකේදී බංග්ලාදේශීහු ලකුණු 36 ක් ලබාගත්හ. 

ශ්‍රී ලංකා යොවුන් නායක විමත් දින්සර (66) ලබාගත් අර්ධ ශතකය හැරෙන්නට ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන්ගෙන් කිසිදු සටනක් විද්‍යමාන නොවීය. බංග්ලාදේශ යොවුන් පිලේ ඉදිරිපෙළ පන්දු යවන්නන් තිදෙනා වූ අල් ෆහාඩ් (41/3), සංජීඩ් මුසුම්දාර් (59/2) සහ අසිසුල් හකීම් (07/2) එක්ව ශ්‍රී ලංකා යොවුන් ඉනිම වනසාලූහ. 

මුලු ලකුණු සංඛ්‍යාව 124 දී හත්වැනි කඩුල්ලත් බිම වැටුණු අතර එතැනින් එහාට ශ්‍රී ලංකා යොවුන් පිලේ බලාපොරොත්තු සියල්ලම බලා සිටිද්දී දියවී ගියේය. 

තරගාවලියේ පස්වැනි තරගය මේ මස 5 වැනිදා කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙයි. 
තවත් තරග දෙකක් ඉතිරිව තිබෙන අතර තරගාවලිය පරාජය නොවී සිටීමට නම් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉතිරි තරග දෙකම ජයගත යුතුව තිබේ. 

බංග්ලාදේශ යොවුන් කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 8 ට 336 යි
(සවාඩ් අබ්රාර් 113, කලාම් සිද්දික් 19, අසිසුල් හකීම් 23, රිසාන් හොසේන් 82, මොහොමඩ් අබ්දුල්ලා 32, දෙබසිස් දේබා 19, සමිඋන් බසීර් 23, අල් ෆහාඩ් නොදැවී 19, රසිත් නිම්සර 96/3, තරූෂ නවෝද්‍ය 45/2)

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - ඕවර 38.4 කදී සියලු දෙනා දැවී 190 යි
(චාමික හීනටිගල 30, විමත් දින්සර 66, කවීජ ගමගේ 23, රසිත් නිම්සර 39, අල් ෆහාඩ් 41/3, සංජීඩ් මුසුම්දාර් 59/2, අසිසුල් හකීම් 07/2)

ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි


අදහස් (0)

සංචාරකයන් පරාජය කළ නොහැකි තැනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.