Last Update  :  2025-11-26 20:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාවට පහසු පිම්මකට අවස්ථාවක්
විස්සයි-20 ලෝක කුසලාන - 2026

ශ්‍රී ලංකාවට පහසු පිම්මකට අවස්ථාවක්

editorial - 2025 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලබන වසරේදී (2026) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකයන් වන ශ්‍රී ලංකාව, තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායමක් වන ඕස්ට්‍රේලියාව ද සමගින් ‘බී’ කාණ්ඩයට තේරී තිබේ. 2026 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 20 ක් සහභාගි වන අතර එම කණ්ඩායම්, එකකට 5 ක් වන පරිදි කාණ්ඩ හතරකට වෙන්කර තිබේ. 

පෙබරවාරි 8 වැනිදා අයර්ලන්තයට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට මුල පුරයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙකුත් තරඟ පෙබරවාරි 12 වැනිදා (ඕමානයට එරෙහිව පල්ලෙකැලේහිදී), පෙබරවාරි 16 වැනිදා (ඕස්ටේ්‍රලියාවට එරෙහිව පල්ලෙකැලේහිදී) සහ පෙබරවාරි 19 වැනිදා (සිම්බාබ්වේ පිලට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී) පැවැත්වේ. 

මූලික වටය අවසානයේදී සෑම කාණ්ඩයකින්ම ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙකක් බැගින් සුපිරි 8 දෙනාගේ වටයට තෝරාගනු ලැබේ. ශ්‍රී ලංකාව අයත් ‘බී’ කාණ්ඩයේ කණ්ඩායම් අතුරින් ඕස්ට්‍රේලියාව සමගින් සුපිරි 8 දෙනාගේ වටයට යාමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට තිබේ.

එහෙත් ඒ සඳහා මූලික වටයේදී සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඕමානය යන කණ්ඩායම් පරාජය කරමින් මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය ආරක්‍ෂා  කරගැනීමට සිදුවෙයි. 

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ පෙබරවාරි 7 වැනිදා සිට මාර්තු 8 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වෙයි. සම්පූර්ණ තරගාවලිය තරග 55 කින් සමන්විතය. මෙම තරග 55 න් තරග 20 ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. ඒවායින් තරග 8 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තවත් තරග 7 ක් පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරග 5 ක් කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ. 

එස්.එස්.සී. ක්‍රීඩාංගණයත් ඇතුළුව ක්‍රීඩාංගණ තුනේම විදුලි ආලෝක පහසුකම් ඇතත් තරග කිහිපයක් පස්වරු 3.00 ට ආරම්භ වීමට ද නියමිතය. 

ඉන්දියාව ද සමගින් ශ්‍රී ලංකාවත් තරගාවලියේ සම සත්කාරකත්වය දරන බැවින් ශ්‍රී ලංකාව සහභාගි වන සියලුම මූලික වටයේ සහ සුපිරි 8 දෙනාගේ වටයේ තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. 

පාකිස්තානය සහභාගි වන සියලුම තරඟ ද ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. අවසන් පූර්ව තරග දෙකින් එකක් සහ අවසන් මහ තරගය සඳහාත් පාකිස්තානය සුදුසුකම් ලබාගතහොත් එම තරග ද ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සිදුවනු ඇත. ඉන්දියාව සහ පාකිස්තානය අවසන් පූර්ව වටයේදී මුණගැසුණහොත්, එම තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, පාකිස්තානය හැර වෙනත් ඕනෑම කණ්ඩායමකට මුහුණ දීමට සිදුවුවහොත් ඉන්දියාව සහභාගී වන දෙවන අවසන් පූර්ව වටයේ තරගය මුම්බායිහිදී පැවැත්වේ.

තරගාවලියේ සමාරම්භක දිනය වන පෙබරවාරි 7 වැනිදා කොළඹ, කොල්කටා සහ මුම්බායි නුවරදී තරග තුනක් පැවැත්වේ. සම්පූර්ණ තරගාවලිය වෙනුවෙන් සූදානම් කර ඇති ක්‍රීඩාංගණ සංඛ්‍යාව 7 කි. 

එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගනය (චෙන්නායි), අරුන් ජෙට්ලි ක්‍රීඩාංගනය (නවදිල්ලිය), වැන්කඩේ ක්‍රීඩාංගනය (මුම්බායි), ඊඩන් ගාර්ඩන්ස් (කොල්කටා), නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය (අහමදාබාද්), ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය (කොළඹ), සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගනය (කොළඹ) සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය (මහනුවර) තරගාවලියේ සත්කාරක ක්‍රීඩාංගණ වෙයි. 

ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත්කිරීමේ උත්සවය ඊයේ (25 වැනිදා) ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැති අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ජේ ෂා මහතා උත්සවයේ ප්‍රධානත්වය දැරීය. 

අවසන් වරට පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී කුසලානය දිනාගත් නායකයා වන රෝහිත් ෂර්මා, ඉන්දියාවේ විස්සයි-20 නායක සූර්යකුමාර් යාදව් සහ ඉන්දීය කාන්තා කණ්ඩායමේ නායිකාව මෙන්ම 2025 එක්දින ලෝක කුසලාන දිනාගත් ඉන්දීය නායිකාව වන හර්මන්ප්‍රීත් කෞර් ද මෙම අවස්ථාවේදී වේදිකාවේ සිටියහ. ඔවුන් අතුරින් රෝහිත් ෂර්මා අන්තර්ජතික ක්‍රිකට් සභවේ සන්නාම තානාපතිවරයකු ලෙසින් ද මේ වන විට නම්කර තිබේ. 

මීට පෙර වර්ෂ 2012 දී (ශ්‍රී ලංකාව) සහ 2016 දී (ඉන්දියාව) විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි සංවිධානය කර තිබේ. එබැවින් සම සත්කාරය දරන රටවල් දෙකම මෙවර ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ දෙවැනි වතාවටයි. 

ඉන්දියාව (2007 සහ 2024) සහ එංගලන්තය (2010 සහ 2022) එක් වතාවකට වඩා විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් කණ්ඩායම් වෙති. පකිස්ථානය (2009), ශ්‍රී ලංකාව (2014) සහ ඕස්ට්‍රේලියාව (2021) විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් සෙසු කණ්ඩායම් වෙති. 


‘ඒ’ කාණ්ඩය : 
ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, නැමීබියාව, නෙදර්ලන්තය සහ පකිස්ථානය


‘බී’ කාණ්ඩය : 
ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඕමානය


‘සී‘ කාණ්ඩය : 
එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, ඉතාලිය සහ නේපාලය


‘ඩී’ කාණ්ඩය : 
දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය, කැනඩාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට පහසු පිම්මකට අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.