Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner මැන්ඩෙලා නම් සැබෑ කී‍්‍රඩාලෝලියා නික්මයයි

මැන්ඩෙලා නම් සැබෑ කී‍්‍රඩාලෝලියා නික්මයයි

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කල්ලන් පිළිකුල් කළ ලොවක, කල්ලන්ගේ රජෙකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ අභාවය පිළිබඳව සුදු ජාතිකයෝද අද මහත්සේ කම්පාවට පත්ව සිටිති. අඩ සියවස් අඩකටත් වැඩි කාලයක් ඔහු සිරකර තබාගත්, කේප් ටවුන් නගරයට මඳක් ඔබ්බෙන් මුහුද මැද පිහිටි, රොබෙන් දූපතත් දැවැන්ත කළු වළාවකින් වැසී ගොසිනි.

ලෝකය වෙනස් වන්නේ ඒ ආකාරයෙනි. දකුණු අපි‍්‍රකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලා ලෝකය වෙනස් කළේද ඒ ආකාරයෙනි. ඒ සඳහා ඔහුට දේශපාලන රැස්වීම් භූමිය පමණක් නොව, කී‍්‍රඩා පිටියද දැවැන්ත වේදිකාවක් විය.

වර්ණභේදවාදී ප‍්‍රතිපත්ති නිසා වසර ගණනාවක් පුරා අන්තර්ජාතික කෙළිබිමෙන් කොන්කර දමා සිටි දකුණු අපි‍්‍රකානුවන් තුළ පවතින, කී‍්‍රඩාව පිළිබඳ සහජ උන්මාදය කදිම උගුලක් ලෙසින් යොදාගත් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාවේ බලවත් සුදු ජාතිකයන් මෙන්ම දැඩි මතධාරී කළු ජාතිකයන්ද එකසේ එහි හසුකර ගත්හ. එම උගුලෙන් ගැලවී යාමට ඔවුන්ට තිබුණේ එකම විකල්පයකි. එනම් සිය දැඩිමතධාරී අදහස් ඉවතදා සෙසු ලෝකයා සමග සංහිදියාවෙන් කටයුතු කිරීම පමණි.

එහි ප‍්‍රතිඵලය වූයේ වසර ගණනාවක් තිස්සේ වර්ණභේදවාදය නිසා කොන් කරනු ලැබ සිටි දකුණු අපි‍්‍රකානුවන්ට නැවතත් අන්තර්ජාතික කී‍්‍රඩා පිටියේ දොරගුළු විවර වීමය.

පළමුව ඉන්දියාවේදී නිල එක්දින අන්තර්ජාතික තරග 5 කට සහභාගි වූ දකුණු අපි‍්‍රකානුවෝ අනතුරුව 1992 දී  ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේදී පැවැති ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙමින් එහි අවසන් පූර්ව වටය දක්වා පැමිණියහ.

අනතුරුව ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නුවරදී පැවැති ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට එක්වූ දකුණු අපි‍්‍රකානුවෝ 1995 දී රග්බි ලෝක කුසලානයේද සත්කාරක කණ්ඩායම බවට පත්වෙමින් රග්බි ලෝක කුසලානයද දිනාගත්හ.

දකුණු අපි‍්‍රකානුවන් අතර ‘මඞීබා’ යන ආදර නාමයෙන් හැඳින්වුණු නෙල්සන් මැන්ඩෙලා, දකුණු අපි‍්‍රකානු කණ්ඩායමක් අන්තර්ජාතික කෙළබිමේ තීරණාත්මක තරගයකට පිවිසෙන සෑම අවස්ථාවකදීම ඔවුන් දිරිමත් කිරීම සඳහා කී‍්‍රඩා පිටියට යාම පුරුද්දක් කරගත් අයෙකි. ඒ බොහෝ අවස්ථාවන්හිදී ජයගන්නා දකුණු අපි‍්‍රකානුවන්ගේ මුවග රැඳුනු ජනපි‍්‍රය කියමනක් වූයේ ‘මඩිබාගේ මැජික්’ යන්නයි.

දකුණු අපි‍්‍රකානු පිල රග්බි ලෝක කුසලාන දිනාගත් 1995 ජූනි 24 වැනිදා ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතා විසින් ජොහැන්නස්බර්ග් නුවරදී දකුණු අපි‍්‍රකානු රග්බි නායක ෆ‍්‍රැන්කෝ පීනාර්ට වෙබ් එලිස් කුෂලනා ප‍්‍රදානය කළ අවස්ථාව
(ඡයාරූපය : රොයිටර්)


එංගලන්ත කි‍්‍රකට් පිලට ඇතුළත්ව සිටි මිශ‍්‍ර ජාතිකයකු වූ බැසිල් ඩි’ඔලිවේරාට තහංචි පැනවූ 60 දශකයේ සිටම, මැන්ඩෙලා හිරෙන් නිදහස් වූ 1990 දක්වාම දකුණු අපි‍්‍රකානුවන් කී‍්‍රඩා පිටියෙන් කොන්කර දමා තිබිණ.

එහෙත් හිරෙන් නිදහස් වූ වහාම, තමන් නායකත්වය දැරූ අපි‍්‍රකානු ජාතික කොන්ග‍්‍රසයේ මාවත වෙනස් කරමින් ජාතිය ගොඩනැංවීමේ ප‍්‍රයත්නය සඳහා කී‍්‍රඩාව යොදා ගැනීමට මැන්ඩෙලා තීරණය කළේය.

වර්ෂ 1991 දී, එවකට ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිව සිටි රණසිංහ පේ‍්‍රමදාස මහතාට දුරකතන ඇමතුමක් දුන් නෙල්සන් මැන්ඩෙලා මහතා, දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් කණ්ඩායම නැවතත් අන්තර්ජාතික කි‍්‍රකට් පිටියට කැඳවාගෙන ඒමේ දොරටු විවර කරගැනීම සඳහා ශී‍්‍ර ලංකාවේ සහාය අපේක්‍ෂා කර සිටියේය. එවකට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වූයේ පේ‍්‍රමදාස රජයේ විදේශ කටයුතු ඇමතිවරයාද වූ ටිරෝන් ප‍්‍රනාන්දු මහතාය.

1991 වසර අවසන් කොටසේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති අන්තර්ජාතික කි‍්‍රකට් සභා රැස්වීමකදී ශී‍්‍ර ලංකාව ඇතුළු රටවල් කිහිපයක සහයෝගය මත දකුණු අපි‍්‍රකාවට නැවතත් අන්තර්ජාතික කි‍්‍රකට් තරග සඳහා සහභාගි වීමේ අවසර ලැබිණ. එයින් මාස කිහිපයකට පසුව,  ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේදී පැවැති 1992 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට දකුණු අපි‍්‍රකානු පිල එක්වන්නේ එලෙසිනි.

අනතුරුව 1992 ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නුවරදී පැවැති ඔලිම්පික් උළෙලටද, 1994 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් තේරීමේ වටයටද දකුණු අපි‍්‍රකානුවෝ සහභාගි වූහ. ඒ දකුණු අපි‍්‍රකාවේ දේශපාලන ප‍්‍රතිපත්ති ස්ථිරසාරව වෙනස් වීමට බොහෝ කලිනි.

වසර 30 ක් කොන්කරනු ලැබ සිටි දකුණු අපි‍්‍රකානුවන් නැවතත් ඔලිම්පික් තරග බිමට ගියේ බාර්සිලෝනාහිදීය. එහි බොක්සිං තරග පැවැති කි‍්‍රඩාංගණය පාළුවට ගොස් තිබිණ. දකුණු අපි‍්‍රකාව වෙනුවෙන් පළමු වරට කළු ජාතික කී‍්‍රඩකයකු තරග කරන බවට මිතුරකුගෙන් ලැබුණු ඔත්තුවක් මත, එයින් කිසියම් කතාවක් සොයාගනු පිණිස කැනේඩියානු ජාතික මාධ්‍යවේදිනියක් වූ රොසී ඩිමානෝ එහි ගියාය.

වෙනත් කිසිදු පුවත් පත් වාර්තාකරුවකුද දක්නට නොසිටි අතර පුහුණුකරුවන් සහ නිලධාරීන් හැරෙන්නට වෙනත් කිසිවකු එහි නොසිටි තරම්ය. එහෙත් පේ‍්‍රක්‍ෂකාගාර අතරේ, ඉතා ඉහළ තැනෙක, මිනිසෙක් අසුන්ගෙන සිටියේය. ඔහු අසළ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනෙක්ද ගැවසෙමින් සිටියහ. හේ පළමු බොක්සිං තරගය ආරම්භ වන තුරු බලා සිටින බවක් මාධ්‍යවේදිනියට හැගිණ.

”මේ එයාද..? දෙයියනේ මේ ඔහු තමා....” ඇය තමාගෙන්ම විමසා නැවත තමාටම කියාගත්තාය.

පඩි සියයකට ආසන්න සංඛ්‍යාවක් නැග ඇය එහි ගියේ විපිළිසර සිතිනි..
”මට ඔබතුමන් සමග කතාකරන්න පුළුවන්ද ?” ඇය විමසා සිටියාය. ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනා ඔවුන් වෙත එනු පෙනුණි. එහෙත් ඔහු තම ආරක්‍ෂක නිලධාරීන් වළක්වමින්ම පිළිතුරු සැපයීමට උත්සුක විය.

”සත්තකින්ම..ඒත් ඉතාමත් කරුණාවෙන් ඉල්ලන්නේ...අපි බොක්සිං කී‍්‍රඩාව ගැන පමණක් කතා කරමු” නෙල්සන් මැන්ඩෙලා පැවසීය.

මැන්ඩෙලා අසුන්ගෙන සිටියේ නරඹන්නන් යන එන මං තීරුව අසළ ආසනයකය. මාධ්‍යවේදිනිය එහි අසළ පහළ පඩියේ ඇණතියාගත්තාය. නිකමට වාගේ ඔහුගේ දිළිසෙන සපත්තුවක අග අතගා බැලීමට ඈට සිත්විය. ඈ එසේ කළාය.

”ඔහු සිනාසෙමින් මගේ අතින් අල්ලා ගත්තා.. කිව්වේ එක දෙයයි....මම පිළිරුවක් නොවෙයි ළමයෝ කියලා විතරයි”

”ඒත් මට මේ කිසිවක් අදහා ගන්නට බෑ...මේ වීරයෙක්....අපේ කාලයේ සැබෑ වීරයෙක්”යයි රොසී ඩිමානෝ තමන්ගේ වෘත්තීමය ජීවිතයේ සදානුස්මරණීය මොහොත ගැන මැන්ඩෙලා මහතාගේ අභාවයෙන් පසුව ලියා තිබිණ.

දකුණු අපි‍්‍රකාවට බාහිර කී‍්‍රඩා ලෝකය හා එක්වීමට අවශ්‍යතාව තිබූ තරමටම බාහිර ලෝකයාටත් දකුණු අපි‍්‍රකාව  ඕනෑ විය.
 
”නෙල්සන් මැන්ඩෙලාගේ ප‍්‍රතිරූපය ඔලිම්පික් ව්‍යාපාරයටත්  ඕනෑ කළා. ඔහු ඒ වන විට දකුණු අපි‍්‍රකාවේ ජනාධිපති නොවුණත් ලෝකය පුරාම දැවැන්ත පිළිරුවක් වගේ කෙනෙක්. බාර්සිලෝනා ඔලිම්පික් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගි වූ මැන්ඩෙලාට ඔවුන් (අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව) සැලකුවේ රාජ්‍ය නායකයකුට වගේ” යයි දකුණු අපි‍්‍රකානු ඔලිම්පික් කමිටුවේ හිටපු ප‍්‍රධානී සෑම් රාම්සාමි මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබිණ. රාම්සාමි මහතා මේ වන විට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයෙකි.

දකුණු අපි‍්‍රකාවේ කී‍්‍රඩා කණ්ඩායම් විසින් භාවිතා කරන ලද සංඛේත සම්බන්ධයෙන් තිබූ විවාදයන්ට මැන්ඩෙලා බලෙන්ම වාගේ මැදිහත් විය. දකුණු අපි‍්‍රකාවේ කුඩා මුව විශේෂයක් වන ‘ස්පි‍්‍රංබොක්’ සුදු ජාතිකයන් විසින් සිය රග්බි සංඛේතය යොදා ගන්නා ලද හෙයින් සෙස්සෝ ඊට විරුද්ධ වූහ. එහෙත් මැන්ඩෙලාගේ අනුමැතිය එයට ලැබුණ බැවින් දකුණු අපි‍්‍රකානු රග්බි සංඛේතය ස්පි‍්‍රංබොක්ම විය.

දකුණු අපි‍්‍රකාවේ ජාතික පුෂ්පය වන ‘ප්‍රොටියා’ මල කි‍්‍රකට් කණ්ඩායමේ සංඛේතය ලෙස වෙනස් කළ නමුත් දකුණු අපි‍්‍රකානු ඔලිම්පික් කමිටුවේ සංඛේතයද ස්ප‍්‍රිංබොක්ම විය.

මෙම වෙනස්කම් නිසා දකුණු අපි‍්‍රකාවේ සියලූම වාර්ගික ජනකොටස් මැන්ඩෙලා කෙරෙහි මහත්සේ සිත් බැඳගත්හ. විශේෂයෙන්ම කළු ජාතික රජයක් තමන් කෙරේ කොයි ආකාරයෙන් කටයුතු කරාවිද යන්න පිළිබඳව තිබූ සැක සංකා ඉවත දැමූ අෆ්රිකානර් ජන සමූහය මැන්ඩෙලා කෙරේ දැඩි සේ බැඳුනහ.

”ඔහුට තිබුණ අති විශේෂ දූරදර්ශීභාවය නිසා 1995 රග්බි ලෝක කුසලාන තරගාවලිය ජාතිය ගොඩනැංවීමේ ව්‍යාපාරයක් බවට පත්කරගන්න ඔහු සමත් වුණා. ඒක සිද්ධ වෙන්නේ දකුණු අපි‍්‍රකාවේ පළමු වැනි නිදහස් මැතිවරණයෙන් වසරකට පස්සේ” යයි දකුණු අපි‍්‍රකානු රග්බි සංගමයේ සභාපති ඔරේගන් හොස්කින්ස් මහතා පවසා තිබිණ.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් දකුණු අපි‍්‍රකානුවන් විසින් රග්බි ලෝක කුසලාන දිනාගනු ලබන විට මැන්ඩෙලා සැරසී සිටියේ රග්බි නායක ෆ‍්‍රැන්කොයිස් පීනාර්ගේ හරිත වර්ණ බැනියමෙනි. එයින් වසරකට පසුව, බෆානා - බෆානා යනුවෙන් හැඳින්වෙන දකුණු අපි‍්‍රකානු ජාතික පාපන්දු කණ්ඩායම අපි‍්‍රකානු ජාතීන්ගේ කුසලානය දිනාගන්නා විට මැන්ඩෙලා සැරසී සිටියේ තම රටේ ජාතික පාපන්දු කණ්ඩායමේ බැනියමයි.

වසර 2010 දී ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සංවිධානය කිරීම සඳහා දකුණු අපි‍්‍රකානු පාපන්දු සංගමය උනන්දු කළේත්, ඔවුන්ගේ සාර්ථක වූ උත්සාහය පසුපස දැවැන්ත සෙවණැල්ලක් මෙන් සිටියේත් මැන්ඩෙලාමය. දකුණු අපි‍්‍රකානුවන් ‘මඞීබා මැජික්’ කීවේ මේවාටය.

කණ්ඩායම් කී‍්‍රඩා සම්බන්ධයෙන් පමණක් නොව, තනි තනිව අන්තර්ජාතික තරග වලට සහභාගි වන දකුණු අපි‍්‍රකානුවන් සම්බන්ධයෙන්ද මැන්ඩෙලා මහත් උනන්දුවක් දැක්වීය. දකුණු අපි‍්‍රකාවේ වෘත්තීය ගොල්ෆ් කී‍්‍රඩකයකු වන  අර්නි එල්ස්ට මෙන්ම ඔහුගේ දැඩි ප‍්‍රතිවාදියකු වන ටයිගර් වුඞ්ස් (ඇමරිකානු ගොල්ෆ් කී‍්‍රඩක) දෙදෙනාටම 1998 දී තේ පැන් සංග‍්‍රහයක් සඳහා මැන්ඩෙලා සිය නිවසට ආරාධනා කළේය.

”ඔහු අපට සැලකුවේ ඔහුගේ දරුවන් දෙදෙනකුට වගේ...ඔහුගේ අවංකභාවය නම් පුදුමාකාරයි. ඒ හමුව අප දෙදෙනාගේම ජීවිත වල දැඩි වෙනසක් කළා” යයි අර්නි එල්ස් රොයිටර් පුවත් සේවයට පවසා තිබිණ.

”එය මගේ ජීවිතයේ ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක්” යයි මැන්ඩෙලාගේ අභාවයෙන් ශෝකයට  පත් ටයිගර් වුඞ්ස් ටිව්ටර් පණිවුඩයක සටහන් කර තිබිණ.
වසර 2003 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය දකුණු අපි‍්‍රකාවේදී සංවිධානය කර තිබුණේ දකුණු අපි‍්‍රකානුවන් ලෝක කුසලාන දිනාගැනීමට සිටින හොඳම කණ්ඩායම ලෙස පුන පුනා කියමිනි. එහෙත් ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර ඩර්බන්හිදී පැවැති තරගයේදී ඩක්වර්ත් ලූවිස් නීතිරීති වරදවා වටහාගැනීම හේතුවෙන් දකුණුු අපි‍්‍රකාව තරගය පරාජය වූ අතර එනිසාම දකුණු අපි‍්‍රකානු පිල දෙවැනි වටයෙන් ඉවතට විසිවී ගියේය. අනුයාත ප‍්‍රතිඵලය වූයේ දකුණු අපි‍්‍රකානු නායක ෂෝන් පොලොක්ට නායකත්වය අහිමි වීමයි.

දින කිහිපයකින් අනතුරුව ෂෝන් පොලොක්ට දුරකතන ඇමතුමක් ලැබිණ.
”ඔහු මට කතාකළේ මා ඒ අවස්ථාවේදී කටයුතු කළ අකාරය ගැන ප‍්‍රශංසා කිරීමටයි. ඒ වගේම මා හොඳින් ඉන්නවාද කියා දැනගන්නත් ඔහුට අවශ්‍යව තිබුණා” යයි ෂෝන් පොලොක් රොයිටර් පුවත් සේවයට පවසා තිබිණ.

වීරයකු වූයේ වියපත් මැන්ඩෙලාය. එහෙත් තරුණ මැන්ඩෙලා හොඳ දුර ධාවකයකු මෙන්ම දක්‍ෂ බොක්සිං කී‍්‍රඩකයෙකි.

”බොක්සිං කියන්නේ සමානත්වයයි...කිසිවකුගේ තත්ත්වය, වයස, වර්ණය හෝ ධනය බොක්සිං වළල්ලේදී වැදගත් වෙන්නේ නෑ” යයි නෙල්සන් මැන්ඩෙලා සිය චරිතාපදානය වන ‘නිදහස සොයා දිගු ගමනක්’ කෘතියේ සටහන් කර තිබේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

ලෝක නායකයන් අතර සදාතනික වීරයකු මෙන්ම නොමියෙන කී‍්‍රඩා පේ‍්‍රමියකු වූ නෙල්සන් මැන්ඩෙලා මහතාගේ අභාවය වෙනුවෙන් අළු බඳුන ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරන  ඕස්ටේ‍්‍රලියානු සහ එංගලන්ත කී‍්‍රඩකයන්  ඕස්ටේ‍්‍රලියාව් ඇඩිලේඞ් කී‍්‍රඩාංගණයේදී විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වූ අයුරු.
ඡයාරූපය : ඒ. එෆ්. පී.

 

 


අදහස් (0)

මැන්ඩෙලා නම් සැබෑ කී‍්‍රඩාලෝලියා නික්මයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.