Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner නිපන්දු යැවීමට නම් සමාවක් නෑ - රුමේෂ්

නිපන්දු යැවීමට නම් සමාවක් නෑ - රුමේෂ්

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා කණ්ඩායම නවසීලන්තයේදී අත්කරගත් ඛේදජනක පරාජයන් වැල හේතුවෙන් කණ්ඩායමේ ආත්ම විශ්වාසය බිංදුවටම ඇද වැටිණ.

පසුගිය වසරේදී (2014) යන යන තැන ජයගත් ශී‍්‍ර ලාංකිකයෝ නවසීලන්තයේදී අසාර්ථක වීම හේතුවෙන් කණ්ඩායමේ චිත්ත ධෛර්යය වඩවා ලීම පිණිස මානසික තත්ත්ව විශ්ලේෂකයකු වන ජෙරමි ස්නේප් මහතාගේ සේවය ලබාගැනීමටත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කළේය.

ශී‍්‍ර ලංකා පිලට සහාය වීම සඳහා 10 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සිටියදීත් වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වන චමින්ද වාස් මහතාගේ සහායට රුමේෂ් රත්නායක මහතා කැඳවන්නේ පුහුණු උපදේශකවරයකු ලෙසිනි.

ටෙස්ට් සහ එක්දින තරග අහේනියක් තිබූ 1982 ඉන්දීය සංචාරයේ සිට 1993 කොදෙව් පිලේ ශී‍්‍ර ලංකා සංචාරය දක්වා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිටි ආරම්භක පන්දු යවන්නා වූ රුමේෂ් රත්නායක මෙවර ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක්වන්නේ ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම ගමන් කරනා දුර දක්වා පමණි. එහෙත් කේවල් කිරීමකින් තොරවම තමන්ගෙන් ඉල්ලා සිටින දේ දීමට රත්නායක මහතා ඉදිරිපත්ව සිටී.

”මම ඉස්සරවෙලාම කළේ ඔවුන් එක්ක වාඩිවෙලා මම ඔවුන්ගෙන් දැක්ක දේ ගැන සාකච්ඡ කරපු එකයි”

”ඔවන් හැකියාවෙන් පිරිපුන්. ඒ ගැන කිසිම සැකයක් නෑ...ඒත් තරගයට ගිහින් තමන්ගේ සැලැස්ම කි‍්‍රයාත්මක කරන්න ගියාම තරමක පසුබෑමක් තියෙනවා..ඔන්න  ඕක තමයි ප‍්‍රශ්නෙ”යයි ඩනෙඩින් නුවරදී ශී‍්‍ර ලාංකික මාධ්‍ය නියෝජිතයන් හමුවූ රත්නායක මහතා පැවසීය.

”මේ දේ  ඕනැම පන්ද යවන්නකුට වෙන්න පුළුවන්. ඔවුන් දැන් ගෙවා දමමින් ඉන්නේ ඒ කාලයයි”

”පළමු තරගයේදී වුණත් සිද්ධ වුණේ එකයි. අපට අපේ සැලැස්ම කි‍්‍රයාත්මක කරගන්න බැරිවුණා. ඒත් එක හොඳ තරගයකින් නැවතත් අපට දස්කම් අතරට එන්න පුළුවන්. කී‍්‍රඩකයන්ගේ විශ්වාසනීයත්වය ඇතිකරගන්නත් පුළුවන්”

”ඒත් ඒ තරගය එනකම් බලා ඉන්න බෑ. අපි ඒක හොයාගෙන යන්න  ඕනෑ” යයිද හෙතෙම අවධාරණය කරයි.

ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ගේ ඉලක්කය නැතහොත් සැලසුම් සහගත පන්දු යැවීම සම්බන්ධයෙන් ඇත්තේ විශාල ප‍්‍රශ්නාර්ථයකි. මේ තරම් පහසුකම් ඇතිව, මේ තරම් සහාය කාර්යමණ්ඩලයක් ඇතිව, මේ තරම් පුහුණුවීම් කරන පන්දු යවන්නන්ට පන්දු හයක් එක ඉලක්කයකට යවාගත නොහැකි වීමද විමතිය දනවන්නකි. එහෙත් ඒ ගැන රුමේෂ් රත්නායක මහතා දරන්නේ වෙනත් මතයකි.

”ඒ දේ නොකරම තරග දිනනවා නම් ඒ වගේ අඩුපාඩු පෙනෙන්නේ නෑ. මේවා එකින් එක එළියට එන්නේ තරග පරදින විටයි”

”අප නිතරම උත්සාහ කරන්නේ අපේ දස්කම් එකම විදිහට, දිගටම පවත්වාගෙන යන්නයි. උත්සාහ කරනවා නම් ඒක ඒ තරම් දෙයක් නෙමේ..හැබැයි මේක කාටවත් ප‍්‍රාතිහාර්ය මගින් කළ හැකි දෙයකුත් නෙමේ” යයිද රත්නායක මහතා කියයි.

පුහුණුකරුවන්ට කළ හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණි. එහිදී පන්දු යවන්නාගේ සිතිවිල්ලටත් ඉඩ දිය යුතු වන්නේ ඔහුගේ ආත්ම විශ්වාසය ඉහළ දැමීමත් පුහුණුකිරීමේ එක් ප‍්‍රධාන අංශයක් වන බැවිනි. අනෙක් අතට පන්දු යැවීම යනු දිව ඇවිත් පන්දුව පිතිකරුවා වෙත යොමු කිරීමම නොවේ. සෑම පන්දුවකම කිසියම් සැලසුමක් අන්තර්ගත කර තබේ. ඒ සඳහා පන්දු යවන්නා තම සීමාවේ සිටම සිතන්නට පටන්ගත යුතුය.

”මාලිංග වගේ පන්දු යවන්නකුට කතා කළොත් පුදුමාකාර දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒවා පොතකින් ගන්නත් බෑ. ඒ තරමටම සැලසුම් සහගත දේවල් ඔහුගේ ඔලූවේ තියෙනවා”

”මේ කී‍්‍රඩාව හුගාක් හිතලා කරන්න  ඕන කී‍්‍රඩාවක්” යයිද රුමේෂ් රත්නායක මහතා පෙන්වා දෙයි.

නවසීලන්තයේ පවතින වෙනස් වන කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් මැසිවිලි කියමින් පරාජයට හේතු දැක්වීමට රත්නායක මහතා වුවද සූදානම් නැත. මේ ආකාරයේ වෘත්තීය කී‍්‍රඩාවකදී පවතින තත්ත්වයන්ට අනුගත වීමටත් එන එන අභියෝගය වලට මුහුණ දෙමින් ඉදිරිය කරා යාමටත් තමන්ටත් කණ්ඩායමටත් වගකීමක් තිබෙන බවද හෙතෙම කියයි.

”පසුගිය අවුරුදු 10 ගත්තොත් (වසර 2007 සිට) අපි ලෝක කුසලාන අවසන් මහ තරග 5 කට කී‍්‍රඩා කරලා තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ විවිධ තත්ත්වයන් සහ පාරිසරික සාධක වලදී අපි හොඳින් කී‍්‍රඩා කරලා තියෙනවා. ඒ නිසා අපට මේ බොළඳ හේතු ඉදිරිපත් කරන්න බෑ”

”අනෙක් අතට මේ විදිහට ලෝක කුසලාන තරග වලදී දිගින් දිගටම අවසන් මහ තරග වලට සුදුසුකම් ලබාගන්නා එක ගැන නවසීලන්තය වගේ රටවල් අපට ඊර්ෂ්‍යා කරන්නත් පුළුවන්...ඒ නිසා අපට තියෙන්නේ මේ ගැන හොඳින් හිතා බලා අපේ ගමන්මග නිර්මාණය කරගන්නා එකයි” යයිද රත්නායක  මහතා කියයි.

”පොඩි පොඩි දේවල් හොඳින් කළාම ලොකු දේවලින් විශාල ප‍්‍රතිඵල ලැබෙනවා. ඒ තරගය අපේ ඊළ`ග තරගය වෙන්න පුළුවන්....මේ වතාවෙත් අපි ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තොත් ඒ ගැන පුදුම වෙන්න එපා” යයි කී රත්නායක මහතාගේ ස්වරයේ වූයේ තම පන්දු යවන්නන් කෙරේ අචල විශ්වාසයකි.

”ඒ වුණත් අපි දැනට ඒ තරම් දුර හිතන්නේ නෑ. එක වෙලාවකට හිතන්නේ එක තරගක් ගැන විතරයි” යයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වන චමින්ද වාස් සහ තමන් අතර ඉතාමත් හොඳ සම්බන්ධතාවක් පවතින බවද රත්නායක මහතා අවධාරණය කරයි.

”වාසි (චමින්ද වාස් මහතා) මාව ඉතාමත් ආදරයෙන් පිළිගත්තා විතරක් නෙමේ මා ආපු එක ගැනත් සතුටින් ඉන්නේ. මමත් වාසි එක්ක වැඩ කරන්නේ හරිම සතුටින්” යයිද රත්නායක මහතා කියයි.

ආසියානු කි‍්‍රකට් සම්මේලනයේ සංවර්ධන නිලධාරියකු වශයෙන් කටයුතු කරන අවස්ථාවන්හිදී මෙන්ම වෙනත් පුහුණුකිරීමේ පැවරුම් වලදීත් රත්නායක මහතා සිය නිදර්ශනය ලෙස යොදාගන්නේ චමින්ද වාස්ය. වේග පන්දු යවන්නකු වූ නමුත් වාස් එතරම් විශාල ශරීරයක් ඇති අයකු නොවේ. මර්වින් හියුස් ( ඕස්ටේ‍්‍රලියාව* මෙන් දැවැන්ත ශරීරියක් නොතිබුණ  නමුත් වාස්ගේ දැවැන්ත වැඩ කොටසක් කළ කී‍්‍රඩකයෙකි.

”ඔහු ඒ දේවල් කරලා තියෙන්නේ තමන්ගේ ශරීර සුවතාව (පිටකොන්දේ ආබාධ වලින් මිදී සිටීම සඳහා), තමන් කටයුතු කරන ආකාරය, විනය වගේ දේවල් නිසි පරිදි පවත්වාගෙන ගිය නිසයි” යයි රත්නායක මහතා පෙන්වා දෙයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් දිගින් දිගටම විවිධාකාර ආබාධයන්ට ලක්වීම සම්බන්ධයෙන්ද රත්නායක මහතා දරන්නේ පොදු මතටය වඩා වෙනස් අදහසකි.

”හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි කීඩකයන්ට තියෙන අවිවේකය. අනෙක තරග වල තියෙන දුෂ්කරබව නිසා කී‍්‍රඩකයන්ට නැවතත් තමන්ගේ සුපුරුදු සුවයට යන්න කාලය මදි වීම”

”අපේ කාලයේ (1996 ට පෙර) වේග පන්දු යවන්නන් මේ තරම් ආබාධ වලට ලක්වුණේ නෑ කියලා කියන්න නම් ලේසියි. ඒත් හිතලා බලන්න දැන් තියෙන තරග සංඛ්‍යාව ගැන”

”ටෙස්ට් තරග වැඩි ගණනක්, එක්දින තරග මහා ගොඩක්. ඒ මදිවාට විස්සයි:20 තරගත් තියෙනවා...එතැනින් නතර වෙනවාද, නෑ...අයි. පී. එල්....බිග් බෑෂ් වගේ තවත් තරග කොයි තරම් තියෙනවාද”

”මේ හින්දා පන්දු යවන්නන්ට තමන්ගේ ශාරීරික සුවතා කටයුතු නිසි විදිහට කරගන්න, තමන්ගේ අස්ථි ශක්තිමත් කරගන්න අවශ්‍ය තරමට කාලය ලැබෙන්නේ නෑ”

”එක අතකට බලාගෙන යනකොට මේක පර්යේෂණාත්මක කාලයක් වගේ. වේග පන්දු යවන්නන් මේ තත්ත්වයෙන් මුදවාගන්නේ කොහොමද කියලා ලෝකය පුරාම පරීක්‍ෂණ කෙරෙනවා” යයිද මේ වන විටත් ආසියානු කි‍්‍රකට් සම්මේලනයේ සංවර්ධන නිලධාරියකු වන රත්නායක මහතා පැවසීය.  

පන්දු යවන්නන් කෙතෙක් වෙහෙසකර වූවද නිපන්දු යැවීම සම්බන්ධයෙන් පන්දු යවන්නන්ට කිසිදු සමාවක් දිය නොහැකි යයිද රත්නායක මහතා පවසයි.

”නිපන්දු ගැන නම් කතාකරන්න එපා. නිපන්දුවක් කියන්නේ අතිරේක ලකුණක්, අතිරේක පන්දුවක් විතරක් නෙමේ නිදහස් පහරකුක් ප‍්‍රතිවාදී පිලට ලැබෙන එකක්...ඒත් වයිඞ් පන්දු නම් තැනින් තැනට තියෙන තත්ත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්” යයිද රත්නායක මහතා පැවසීය.

එසේ වුවත් ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැති ලෝක කුසලාන තරගයේදී ලසිත් මාලිංග දවාගත් එකම කඩුල්ලද ඔහුට අහිමි වූයේත් එය නිපන්දුවක් වූ හෙයිනි.


අදහස් (0)

නිපන්දු යැවීමට නම් සමාවක් නෑ - රුමේෂ්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.