Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 බෝල්ට්ගේ රන් පදක්කම ගැට්ලින් උදුරාගනී

බෝල්ට්ගේ රන් පදක්කම ගැට්ලින් උදුරාගනී

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය අවසන් තරගයත් ජයග්‍රහණයෙන් නිමා කරගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි ලෝක කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට්ගේ සමුගැනීමේ තරගයේ තිරපිටපත ඉරා පැත්තකට වීසි කළ අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් අන්තර්ජාතික මළල ක්‍රීඩා සම්මේලන ලෝක ශූරතාවලියේ මිටර් 100 තරග ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඊයේ රාත්‍රියේ සමත්විය. ලන්ඩන් නුවරදී පැවැත්වෙන මෙම තරගාවලියේ දෙවැනි  දිනය ඊයේ විය.

සිය අපකීර්තිමත් මෙන්ම මතභේදාත්මක දිගුකාලීන ක්‍රීඩා ඉතිහාසයේ සියලු කළු පැල්ලම් මේ රන් පදක්කමින් යටපත් කළ 35 හැවිරිදි මේ අමෙරිකානුවා තත්පර 9.92 කින් තරගය නිමා කරද්දී තත්පර 9.95 කින් සිය අවසන් කෙටිදුර තරගය නිමා කළ උසේන් බෝල්ට්ට ලෝකඩ පදක්කමින් පමණක් සෑහීමකට පත්වීමට සිදුවිය. මේ තරගයේ දෙවැනි ස්ථානය අත්කර ගනිමින් රිදී පදක්කමට හිමිකම් කීවේ තත්පර 9.94 කින් තරගය නිමා කළ අමෙරිකාවේ 21 හැවිරිදි ක්‍රීඩක ක්‍රිස්ටියන් කෝල්මන්ය.

දෙවතාවක්ම තහනම් උත්තේජන භාවිතය නිසා තරග තහනමකට ලක්වී සිටි ගැට්ලින් ලෝක ශූරතා ශූරතාවලියේ මීටර් 100 රන් පදක්කම දිනාගත්තේ වසර 12 කට පසුවය. ඊට පෙර ඔහුගේ පළමු ලෝක ශූරතා මීටර් 100 රන් පදක්කම දිනාගත්තේ 2005 හෙල්සින්කි හී පැවැති තරගාවලියේදීය.

2004 ඇතැන්ස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මිටර් 100 රන් පදක්කම්ලාභී ගැට්ලින් ඊට වසර දෙකකට පසුව දෙවැනි වරට තහනම් උත්තේජන භාවිතය නිසා ජීවිතාන්තය දක්වා තරග තහනමකට ලක්වීමේ අවදානමෙන් යන්තම් ගැලවුණත් වසර 8 ක තරග තහනමකට මුහුණදීමට සිදුවී තිබිණි. කෙසේවුවත් ඊයේ තරගයේදී ගැට්ලින් දිනූ රන් පදක්කමේ වටිනාකම දෙගුණ වූයේ එය උසේන් බෝල්ට්ගේ අවසන් තරගය මුලුමනින්ම වේදනාත්මක එකක් බවට පත්කිරිම නිසාය.

ගැට්ලින් ඊයේ තරගය ජය ගත්තේ ක්‍රීඩාංගණය පුරා බෝල්ට්ගේ නම රැව් පිළිරැව් දෙමින් තිබූ මොහොතකදීය.
“වැඩිදෙනෙක් බෝල්ට්ගේ නම කියා හඬ නගද්දී මම මට කළ හැකි උපරිම දේ කළා”

“අපි දෙන්නා පිටියේදී තදබල ප්‍රතිවාදීන් වුණත් ඉන් පිටතදී හොඳ සුහදකමක් තිබුණා. තරගයෙන් පසුව ඔහු මුලින්ම කළේ මට සුබ පැතීමයි” යයි ගැට්ලින් තරගයෙන් පසුව කීවේය.

“තරගයේ අන්තිම හරියේදී මම සෑහෙන්න හිරවුණා. ඒක මා අතින් සිදුනොවිය යුතු දෙයක්. ඔහු (ගැට්ලින්) විශිෂ්ට ප්‍රතිවාදියෙක්. එවැනි ක්‍රීඩකයකුට එරෙහිව තරග කරද්දී නිතරම උපරිමයෙන් තරග කළ යුතුමයි” ඊයේ තරගයේදීත් අසාර්ථක ආරම්භයක් ලැබූ බෝල්ට් පැවැසීය.


 - 077


අදහස් (0)

බෝල්ට්ගේ රන් පදක්කම ගැට්ලින් උදුරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.