Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 හොඳට නරකට දෙකටම ‘ස්වීප්

හොඳට නරකට දෙකටම ‘ස්වීප්

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ස්වීප්’ පහර මෙන්ම ‘රිවර්ස් ස්වීප්’ පහර පිතිකරුවන්ගේ ලොකුම ආයුධය වී තිබේ. දඟ පන්දු යවන්නන්ට උපකාරීවන තණතීරු මතදී ‘ස්විප්’ පහර මෙන්ම ‘රිවර්ස් ස්වීප්’ පහරින් පිතිකරුවන් විශාල වශයෙන් ලකුණු ලබාගත්තත් ඒ පහර නිසාම කඩුල්ල අහිමි කරගන්නා අවස්ථාද බොහොමයක් තිබේ. එහෙත් දැන් දැන් පුහුණුකරුවෝ පවා මෙම පහර ගැසීමට පිතිකරුවන් උනන්දු කරවති.  

“මම ස්වීප් පහර වගේම ‘රිවර්ස් ස්වීප්’ පහරත් වැඩි වශයෙන් යොදාගන්නවා. මට ඒක ගහලා පුරුදුයි” යයි නිරෝෂන් දික්වැල්ල කියයි.

පළමු ඉනිමේදී ලකුණු 183 කට දැවී ගිය ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මුල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 51 ක් ලබාගත් දික්වැල්ල කොළඹ එස්.එස්.සී. ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (5 වැනිදා) සවස ක්‍රීඩාව නතර කිරීමෙන් අනතුරුව කියා සිටියේය. දික්වැල්ල එසේ කීවද අද පෙරවරුවේදී බිඳ වැටුණු පළමු ශ්‍රී ලංකා කඩුල්ල වූ නායක දිනේෂ් චන්දිමාල් දැවී ගියේද ස්විප් පහරකිනි. එවන් තත්ත්වයක් තිබියදීත් තවදුරටත් ස්වීප් පහර කරා යාමට නිර්භීත විය යුතුව තිබේ.

“මම විශ්වාසය තියන්නේ මගේ හැකියාවන් පිළිබඳවයි. ඇරත් පන්දුව දඟ කැවෙන තණතීරුවකදී හොඳම විකල්පයත් මේ පහරයි. මගේ පහරවල් වලින් 80% කදී විතර මම ස්වීප් පහර යොදාගත්තා. අනෙක අපි අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ. පවතින තත්ත්වය අනුව ඉක්මනින් ඒවාට හැඩගැහෙන්න අපිට පුළුවන් වෙන්න ඕනෑ”

“අපි ස්වීප් පහර මෙන්ම රිවර්ස් ස්වීප් පහරත් ගැසීමට වැඩි වැඩියෙන් පුහුණු වෙනවා. හෂාන් තිලකරත්න (ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු) වගේම අනෙක් පුහුණුකරුවෝත් මේ පහර ගැසීමට අපව දිරිමත් කරනවා. ස්වීප් පහරත් එක්ක අපි වඩාත් දියුණු තත්ත්වයකට පැමිණ සිටිනවා” ඇතැයිද පැවසීය.

මුල් ඉනිමේදී ලකුණු 183 කට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවා ආහාරය වන විට පරායේ මුවවිටට තල්ලු වී සිටියේය. එහෙත් දෙවැනි ඉනිමේදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 191 ක අතිවිශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූ කුසල් මෙන්ඩිස් (110) සහ දිමුත් කරුණාරත්න (නොදැවී 92) තරගය බේරා ගැනීමේ බලාපොරොත්තු අලුත් කළහ. මෙම සම්බන්ධතාව ගොඩනැංවීම සඳහා ඔවුන් දෙදෙනා වැඩිවශයෙන් යොදාගත්තේද ස්විීප් සහ රිවර්ස් ස්වීප් පහරයි.

ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිමේදී තමන්ගේ කාරිය හරියට නොකළ බවත් දික්වැල්ල කියයි.
“මුල් ඉනිමේදී අපි හරියට ක්‍රීඩා කළේ නෑ. අපි තරමක් තැන්පත් විය යුතුව තිබුණත් අපි ඒ දේ කළේ නෑ....ඒ නිසාම අපි දෙවැනි ඉනිම පටන්ගන්න ඉස්සරවෙලා ඒ ගැන සැලැස්මක් හැදුවා. ඒ සැලැස්මේ මූලිකාංග වුණේ දඟ පන්දුවට මුහුණ දීම වගේම පීඩනය හසුරුවා ගැනීමයි.”

“දිවා ආහාර විවේකයේදී ඒක ටිකක් දිග සාකච්ඡාවක් වුණත් අපි ඒ සැලසුම් නියමිත ආකාරයට ක්‍රියාවට නැංවූවා” යයි කී දික්වැල්ලගේ අපේක්‍ෂාව වන්නේ හෙට දිනයේ පන්දුවට පහර නොදී සිටීමයි. ඒ දෙවැනි ඉනිමේදී ලකුණු 550 ක් පමණ ලබාගනිමිනි.

තණතීරුව මේ වන විට හැසිරෙමින් තිබෙන ආකාරය අනුව එය වඩ වඩාත් මන්දගාමී වන බැවින් එය පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය වේ යයි ශ්‍රී ලංකා කඩුලු රකින්නා කියයි. තණතීරුවේ වෙනසක් වී නැති බවත් දෙවැනි ඉනිමේදී තමන් ඊට අනුරූපව හැඩගැසුනු බවත් පවසන දික්වැල්ල ඉතාමත් කෙටි තරග දිවියකදී තමන් අති විශිෂ්ටයකු බව කුසල් මෙන්ඩිස් මේ වන විටත් පෙන්නුම් කර ඇතැයිද කියයි.

අද දිනයේදී තම තුන්වැනි ටෙස්ට් ශතකය ලබාගත් කුසල් මෙන්ඩිස් සිය ප්‍රතිභාව විදහා දැක්වූයේ ලබාගත් ලකුණු සංඛ්‍යාවට වඩා සිය පහර කරා අවතීර්ණ වූ ආකාරයෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කළ 1986 සිටම කඩුලු රකින්නෝ කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස්කිරීමේ වගකීම කරට ගත්හ. ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් ජයග්‍රහණයේදී (1986 දී ඉන්දියාවට එරෙහිව) කඩුලු රකින්නා වූ අමල් සිල්වා ශතකයක් ලබාගත් අතර ඔහුගෙන් පසුව කඩුලු රැකීමේ අත් ආවරණ බාරගත් බ්‍රෙන්ඩන් කුරුප්පු, හෂාන් තිලකරත්න, කුමාර් සංගක්කාර සහ ප්‍රසන්න ජයවර්ධනත් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා සිය පිත්තෙන් විශාල දායකත්වයක් දැක්වූහ.

මේ වන විට ටෙස්ට්, එක්දින මෙන්ම විස්සයි:20 යන ආකාර තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාවර කඩුලු රකින්නා බවට පත්ව සිටින නිරෝෂන් දික්වැල්ලටද එම වගකීමෙන් මිදිය නොහැකිය. ඒබව හොඳින්ම දන්නා දික්වැල්ල තමන් තව බොහෝ දුර යා යුතු බවත් පිළිගනී.

“මම තවම ඇවිත් තියෙන්නේ කෙටි ගමනක්. මේක මගේ 9 වැනි ටෙස්ට් තරගය”
“මම තවත් දියුණු වෙන්න ඕනෑ. මා ලකුණු රැස්කරලා තියෙනවා තමයි. ඒත් ඒක හොඳටම මදි.....කණ්ඩායම අමාරුවේ වැටුණාම ‘හරි අවශ්‍ය ලකුණු ටික මම ගහලා දෙන්නම් කියලා’ මම අත උස්සලා කියන්න ඕන” යයි කී දික්වැල්ල.....“අවස්ථාව ලැබුණාම ප්‍රයෝජන ගන්න මම දැගනන්න ඕනා” යයිද කීවේය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ 13 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් සිටියදී පා දඟ පන්දු යවන්නකු යවූ නිරෝෂන් දික්වැල්ල කඩුලු රකින්නකු වූයේ අහම්බෙනි. කිසියම් තරගයක් වෙනුවෙන් කඩුලු රැකීමට සිටි ක්‍රීඩකයා අසනීපවූ බැවින් කඩුලු රැකීමට පිළිපන් දික්වැල්ල එතැන් සිට දිගින් දිගටම කඩුල්ල පිටුපස සිටිමින් පිතිකරුවන්ගේ ගමන කෙටි කළේය.

ත්‍රිත්ව විද්‍යාලයේ නායකත්වය ඉසිලූ 2012 වසරේදී අන්තර් පාසල් ලීග් තරගාවලියේදීත්, එක්දින තරගාවලියේ මෙන්ම විස්සයි:20 තරගාවලියේදීත් ශූරතා තුනක් දක්වා ත්‍රිත්ව විදුහල් පිල මෙහෙයවූ දික්වැල්ල වසර 26 කට පසුව ත්‍රිත්ව - ශාන්ත අන්තෝනි මහ තරගයේ ජයග්‍රහණය කරාත් තම පිල කැඳවාගෙන ගියේය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ජාතික කණ්ඩායමට දායාද කළ රවී රත්නායක, රන්ජන් මඩුගල්ලේ සහ කුමාර් සංගක්කාර තිදෙනාම අන්තර්ජාතික තරග දිවියේ දිගු ගමනක් ගියහ. පන්දු යවන්නකු වශයෙන් කණ්ඩායමට එක්වූ රවී රත්නායක, පසුව වඩාත් විශ්වාසය තැබිය හැකි පිතිකරුවකු වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාද වූයේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඉසිලූ රන්ජන් මඩුගල්ල මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන තරග තීරකවරයාව සිටී. ඔහු වසර 2001 සිටම එම තනතුර හොබවයි. ක්‍රීඩකයකු මෙන්ම නායකයකු ලෙසින් පමණක් නොව, අති විශිෂ්ට දේශකයකු මෙන්ම මඟ පෙන්වන්නකු වශයෙන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ මහත් සම්භාවනාවට පාත්‍ර වී සිටින කුමාර් සංගක්කාර වැන්නන් ආ මාවත ඔස්සේ ගමන් කිරීම නිරෝෂන් දික්වැල්ලට අභියෝගයක් වී තිබේ.


අදහස් (0)

හොඳට නරකට දෙකටම ‘ස්වීප්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.