Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 රග්බි දියුණු කරන්න රාජ්‍ය අනුග්‍රහය නැතිව බෑ

රග්බි දියුණු කරන්න රාජ්‍ය අනුග්‍රහය නැතිව බෑ

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ආසියාවේ ඉහළම තළය දක්වා රැගෙන යෑමට නම් රාජ්‍ය අනුග්‍රහය අනිවාර්යෙන්ම ලැබිය යුතු යැයි ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පවසයි.

මැලේසියාවේදී පැවැති ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලිය ඉලක්ක කරමින් ‘ලංකාදීපය’ සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඒ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.  

“අපි මේ තරගාවලියට සහභාගි වන විට ආසියානු ශ්‍රේණිගත කිරිමේ සිවුවැනි ස්ථානයේ සිටියා. සිවුවැනි ස්ථානයෙන් ඉහළ යෑම ක්‍රීඩා අමාත්‍යංශයේ අනුග්‍රහය නොමැතිව කරන්න බෑ”

“ඉහළින් සිටින ජපානය, හොංකොං සහ දකුණු කොරියාව යන රටවල් තුනම ඇමරිකානු ඩොලර් මිලියන 4 ත් 10 ත් අතර මුදලක් ප්‍රධාන කණ්ඩායමට පමණක් වෙන් කරනවා. ජපානය මිලියන 100 ක පමණ මුදල් රග්බිවලට වියදම් කරනවා”

“ජපානය වගේ රටවල් සමඟ තරග කරන්න නම් අපි හොඳ වැඩසටනකට යා යුතුයි. පළමුවෙන්ම අපේ වයස 16 න් පහළ, 18 න් පහළ, 19 න් පහළ සහ 20 න් පහළ කියන කාණ්ඩ හතරේ කණ්ඩායම්වලට හොඳ පුහුණුවක් දීලා හදන්න ඕනේ. ඒකට මුදල් ඕනේ”

“මේ සඳහා දීර්ඝකාලීන සැලැස්ම ක්‍රීඩා අමාත්‍යංශයට දීලා තියෙන්නේ. මිලියන 100 ක් 150 ක් ඕනේ ප්‍රධාන කණ්ඩායම දියුණු කරලා ඉදිරියට යන්න”

“මෙම වයස් කාණ්ඩවලදී ප්‍රබල රටවල්වලට එරෙහිව ගැහුවේ නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ. වයස 25 යේදී මේ කණ්ඩායම්වලට එරෙහිව තරග කරලා ඉහළ මට්ටමට එන්න බෑ. ක්‍රිකට් ගත්තොත් ඉස්සර තිබුණේ ජාතික කණ්ඩායම විතරයි. දැන් වයස 15 න් පහළ සිට ගහනවා නේ”

“අපිට ඉහළ ඉන්න රටවල් තුනට එරෙහිව ක්‍රීඩා කරලා අපිට දවදාහරි ජය ලබන්න ඕන නම් අවශ්‍ය මුදල සොයාගෙන අපේ කනිෂ්ඨ කණ්ඩායම් දියුණු කරලා අවුරුදු 4 ත් 8 ත් අතර සැලැස්මක් තියා ගන්න ඕනේ. ඒ සැලැස්ම දැන් අපි ඉදිරිපත් කරලා තියෙනවා”

“අපි 2012 සංගමය බාර ගන්න විට අනුග්‍රහකයන්ගෙන් ලැබුණේ මිලියන 6.5 යි. දැන් මිලියන 100 කට වැඩිය වෙනවා. අවුරුදු 5 ක් ඇතුළත අපි රග්බි ක්‍රීඩාව වෘත්තිය මට්ටමට ගෙනල්ලා තියෙනවා. දැන් ඊට ඉහළ මට්ටමට යන්න තමයි අවශ්‍යතා තියෙන්නේ”

“අපි අවුරුදු 8 ක සැලැස්මක් ක්‍රීඩා අමාත්‍යංශයට ඉදිරිපත් කරලා තියෙනවා. සංගමය සහ ක්‍රීඩා අමාත්‍යංශය එකතු වෙලා මූල්‍ය පහසුකම් ලබාදීලා ක්‍රීඩාව පවත්වාගෙන යෑමත්, පාසල් රග්බි සංගමත් සමඟ එකතු වෙලා කනිෂ්ඨ කණ්ඩායම් ඉදිරියට ගෙනියන්නත් තමයි ඒ සැලැස්මෙන් බලාපොරොත්තු වෙන්නේ”  

පළමු කොටසේ තරගාවලියට සහභාගි වන සෙසු කණ්ඩායම් පිළිබඳව සභාපතිවරයා මෙසේ අදහස් දැක්වීය.
“එම රටවල් අපිට වඩා ශ්‍රේණිගත කිරීමේ පහළ සිටියට, පිළිපීනය ගත්තොත් පහළොස් දෙනාම ගහන්නේ ඕස්ටේ්‍රලියාවේ. ඒ නිසා හොඳ තත්ත්වයක ඉන්නවා”

“මැලේසියානු පිලේ ෆීජි ක්‍රීඩකයෝ පහක් විතර ක්‍රීඩා කරනවා. පිලිපීනය, මැලේසියාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය යන රටවල් තුනම සංවර්ධනය වූ රටවල්. අපි තාම සංවර්ධනය වන රටක්. අපිට රග්බි ක්‍රීඩාවෙන් වසර 100 කට වැඩි ඉතිහාසයක් තියෙනවා”

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සභාපතිවරයා මෙසේ පැවසීය.

“අපි මේ වන විට රග්බි ක්‍රීඩාව වෘත්තිය මට්ටම සකස් කරමින් ඉන්නේ. අපිට ලොකු වැඩකොටසක් තියෙනවා. අපි අනුග්‍රහකයන්ගෙන් මුදල් ගේන්න ඕනේ”

“2009 සහ 2010 කාළෙ නාමල් රාජපක්‍ෂ සහ යෝෂිත රාජපක්‍ෂ ක්‍රීඩා කිරීමෙන් ක්‍රීඩාවට මුදල් ලැබුණා. ඒ වගේම අනුග්‍රහකයන්ගෙන් මුදල් ආවා. ආණ්ඩුව වෙනස් වුණා කියලා මුදල් නැති වුණේ නෑ. මලික් සමරවික්‍රම මහතා අපිට උදව් කරනවා. හරීන් ප්‍රනාන්දු ඇමතිතුමාත් අපිට දිගටම උදව් කරනවා”

“රග්බි සංගමයට දැනටම ප්‍රධාන කාර්යාලයක් නෑ. අපේ කාර්යාලය පැවැති පර්චස් 24 ක ඉඩමත් සමඟ පසුගිය ආණ්ඩුව ගත්තා. දැන් තියෙන තැන අපිට ප්‍රමාණවත් නෑ. අපි තැනක් ආණ්ඩුවෙන් ඉල්ලා තියෙනවා”
“අපි රජයෙන් ඉල්ලන්නේ පැරණි තුරඟ තරග පිටියේ කළමණාකරණ අපිට බාර දෙන්න කියලා. ඒ වගේම අපිට එහි මූලස්ථානයට තැනක් දෙන්න කියලායි”

“ජාතික කණ්ඩායමට නේවාසික පහසුකම් සහ පුහුණුවට ක්‍රීඩාංගණයක් දුන්න නම් අපේ අවශ්‍යතාවයෙන් 90% ක් සම්පූර්ණයි. අපි ඒ සඳහා මේ වන විට මිලියන ගණනක් වියදම් කරනවා. මම හිතන්නේ රජයෙන් ඒවා කරන්න ඕනේ. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අපිට උදව් කරනවා” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.


අදහස් (0)

රග්බි දියුණු කරන්න රාජ්‍ය අනුග්‍රහය නැතිව බෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.