Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව FIFA WC 2022 මෙසී ආර්ජන්ටිනියානුවන්ට දුප්පත්කම අමතක කරවයි
කටාර් - 2022

මෙසී ආර්ජන්ටිනියානුවන්ට දුප්පත්කම අමතක කරවයි

editorial - 2022 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විනාඩි 120ක් දක්වා සමවෙමින් (3-3) ඇදී ගිය තරගයකින් අනතුරුව ප්‍රංශය දඬුවම් පහර 4-2කට පරාජය කළ ආජන්ටිනාව වසර 36කට පසුව ලෝක පාපන්දු කුසලාන දිනාගත්තේය‍. පෙරේදා (18 - ඉරිදා) රාත්‍රියේ කටාරයේ  ලුසායිල් ක්‍රීඩාංගණයට රැස්වූ 88966 දෙනෙකු ඉදිරියේදී ආර්ජන්ටිනාව ලෝක කුසලානයට හිමිකම් කීවේය.

කටාර් රාජ්‍යයේ මසකට ආසන්න කාලයක් පුරා තරග 64කින් සමන්විතව පැවැති 22 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නිමාවට පත්වූ පෙරේදා රාත්‍රියේ ආජන්ටිනා කණ්ඩායම දිනාගත් ලෝක කුසලාන සුරතට ගත් එහි නායක 35 හැවිරිදි ලයනල් මෙසී පැවසුවේ මෙය තමන්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය වුවත් තවදුරටත් තමන්ට හැකිතාක් කාලයක් ආජන්ටිනා පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන බවයි.

‘‘මම දැනගෙන හිටියා දෙවියන් වහන්සේ මට මෙය ලබාගන්න දිරිය දෙන බව. මේ විදියට තරගය අවසන්වීමත් පුදුම සහගතයි’’ ලයනල් මෙසී ලෝක කුසලාන සිඹිමින් පැවසීය.

පාපන්දු ක්‍රීඩාවෙන් දියුණු වුවත් මිලියන 45 කින් සමන්විත මෙම ලතින් ඇමරිකානු රාජ්‍යයේ 40% ක් ජනතාව දරිද්‍රතාවයෙන් පෙළෙන අතර එම දුක් විඳින ආජන්ටිනා ජනතාව එය මදකට අමතක කර දමමින් ලෝක කුසලාන තරග ජයෙන් පසුව එහි සියලුම ප්‍රධාන නගරවල එක්රොක් වන්නට වූහ. අග නගරය වන බුවනෝස් අයර්ස් නගරයේ චතුරස්‍රයට පමණක් රැස්වූ පිරිස මිලියන දෙකක් වූ බව බුවනෝස් අයර්ස් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටියේය.

ඔවුන්ගේ මුවින් පිටවූයේ බොහෝ විට එකම වචනයකි. මෙසී මෙසී ඒ වචනයයි.

ආජන්ටිනාව 1986න් පසුව තෙවැනි වරටත් ලෝක කුසලාන පෙරේදා දිනා ගැනීමේ දී ඇත්ත වශයෙන්ම වගකීම් සහගතව කාර්යභාරය ඉටු කළේ ද මෙම වියපත් ක්‍රීඩකයාය.

ඩොලර් මිලියන 42කින් පිරවූ මෙවර ලෝක පාපන්දු කුසලාන දිනා ගැනීමේ දී ප්‍රංශයට එරෙහිව පෙරේදා තරගයේ ලබාගත් ගෝල ද්විත්වයත් සමග ඔහු මුළු ගෝල හතක් ලැබීය. තවත් ගෝල තුනක් ආජන්ටිනා කණ්ඩායමට හිමි කර ගැනීමට ඍජු දායකත්වය ලබා දුන්නේය.

ඒ අනුව මෙසී කටාර් ලෝක කුසලාන තරගාවලිය අවසන් කරන්නේ තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි ‘‘රන් පන්දුව’’ත් හා වැඩිම ගෝලලාභියාට හිමි ‘‘රිදී පාවහන’’ යන ද්විත්ව සම්මාන දිනා ගනිමිනි.

මේ නිසා ආජන්ටිනා වැසියන් වීදිවලට බසිමින් පෙරේදා හඬනගා කෑගැසුවේ 1986 දී ලෝක කුසලාන ආජන්ටිනාවට දිනා දුන් නායකයා වූ දියාගෝ මැරඩෝනාට හිමි ‘‘සිංහාසනය’’ මෙසීටත් උරුමයි කියමිනි.

මෙසී කටාර් ලෝක තරගාවලිය අවසන් කරනවිට ඔහුගේ මෙතෙක් දිවිය පුරා අන්තර් ජාතික තරග 172 කදී ගෝල 97ක් රැස්කර ඇත.

ඉරිදා රාත්‍රියේ පැවැති අවසන් මහ තරගය ප්‍රංශය හා ආජන්ටිනාවට වඩා එය මෙසීගේ හා ප්‍රංශ කණ්ඩායමේ නායක කයිලියන් බාපේ අතර සටනක් බවට පත්වූ බව පැවැසීම වඩාත් නිවැරැදිය.

ආජන්ටිනාව 80 වැනි විනාඩිය දක්වා ගෝල 2-0 කින් ඉදිරියෙන් පසුවෙද්දී ප්‍රංශ නායක කයිලියන් බාපේ ක්‍රියාත්මක වූයේ විශ්මිත අයුරිනි. 80 වැනි විනාඩියේ දී (දඬුවම් පහරකින්) හා 81 වැනි විනාඩියේ දී ඔහු පිට පිටම වාර්තා කළ ගෝල දෙකෙන් තරගය කණපිට හැරෙන ලකුණු පළවිය.

එයින් නොනැවතුණු බාපේ 118 වැනි විනාඩියේ දී තවත් ගෝලයක් දඬුවම් පහරකින් ලබාගත්තේ මෙවර තරගාවලියේ වැඩිම ගෝලලාභියා වෙමිනි. එවිට ඔහු මෙවර ලෝක කුසාලන තරගාවලියේ එකම ත්‍රිත්ව ගෝලලාභියා වෙමින් මුළු ගෝල අටක් රැස්කර තිබුණි. එය ඔහුට ‘‘රන් පාවහන්’’ හා ‘‘රිදී පන්දු’’ යන සම්මාන දෙකක්ම දිනා ගැනීමට ප්‍රමාණවත් විය.
බාපේ තවදුරටත් අනාගතය සුරක්‍ෂිත 23 හැවිරිදි වියේ පසුවන්නෙකි. ඔහු මෙතෙක් දිවිය පුරා ජාත්‍යන්තර තරග 66 කදී ගෝල 36ක් රැස් කර ඇත.

දඬුවම් පහර ප්‍රදානයේ දී බාපේ මෙන්ම මෙසී ද පන්දුව දැල තුළට යොමු කිරීම ඉතා මැනවින් ඉටු කළහ. දෙවරක් පිට පිට ලෝක කුසලාන දිනා ගැනීමේ සිහිනයෙන් පසුවූ ප්‍රංශයේ මෙවර අපේක්‍ෂා මෙසී අතින් බිඳ වැටෙන විට අවසන් මහ තරගය නැරඹීමට එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ද ‘‘ලුසායිල්’’ පිටියේ නරඹන්නකු බවට පත්ව සිටියේය.

එහෙත් ආජන්ටිනා ජනාධිපති බර්ටෝ ෆර්ඩිනැන්ඩස් බුවනෝර්ස් අයර්ස්හි ඔහුගේ පෞද්ගලික නිවසේ රූපවාහිනියෙන් තරගය නැරඹීමට උනන්දුවී සිටියේය.

මේ අතර ‘‘ගූගල්’’ ආයතනය වාර්තා කරන්නේ ප්‍රංශය හා ආජන්ටිනාව අතර පැවැති ලෝක කුසලාන අවසන් තරගය අවස්ථාවේ දී වසර 25කට පසුව විශාලතම සෙවුම් තදබදය උද්ගත වූ බවයි.

තරගාවලියේ දී ක්‍රොඒෂියානු කණ්ඩායමේ නායක ලුකා මොඩ්රික් හොඳම තෙවැනි ක්‍රීඩකයාට හිමි ‘‘ලෝකඩ පාවහන්’’ සම්මානය ලබන අතර ප්‍රංශ ක්‍රීඩක ඔලිවර් ගිරවුඩ් ‘‘ලෝකඩ පාවහන්’’ සම්මානය ලැබීය.

අවසන් තරගයේ දී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ ආජන්ටිනා කණ්ඩායමේ ගෝල රකින්නා වූ එමිලියානෝ මාටින්ස් හොඳම දැල් රකින්නාට හිමි ‘‘රන් ආවරණ’’ සම්මානය දිනීය.

ආජන්ටිනාවට තවත් සම්මානයක් එක් කර දෙමින් එන්සෝ ෆර්නැන්ඩ්ස් හොඳම යොවුන් ක්‍රීඩාකයා වර්ණ සම්මානය දිනා ගත්තේය.

ප්‍රංශයට පරාජය වීමෙන් පෙර අර්ධ අවසන් පූර්ව වටයෙන් මෙවර ගමන නිමා කළ එංගලන්ත කණ්ඩායම හොඳම විනයගරුක කණ්ඩායමට සම්මාන ලැබීය.
                             

 

- 223


අදහස් (0)

මෙසී ආර්ජන්ටිනියානුවන්ට දුප්පත්කම අමතක කරවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.